Uterine Fibroids (ගර්භාෂයේ ඇතිවන ගැටිති)

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

Uterine fibroids යනු ගර්භාෂයේ හෝ ගර්භාෂය ආසන්නයේම ඇතිවන ශරීර පටක වල අසාමාන්‍ය වර්ධන තත්වයකි. මෙය පිළිකා තත්වයක් නොවේ (රෝගීන් දහසකින් එක් අයකුට පමණක් පිළිකා ඇතිවීමේ ඉඩ ඇත). නමුත් මෙම තත්වය නිසා දරුපල ලැබීමේ සම්භාවිතාව අඩු විය හැක. එම නිසා දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින සියලුම තරුණියන්ට මේ පිලිබඳ දැනීමක් තිබීම ඉතා වැදගත්ය.

* මෙම තත්වය ඇති වන්නේ ඇයි?

මෙම තත්වය සුලභ ලෙස සිදුවන්නක් වුවද බොහොමයක් දෙනාගේ හටගන්නා මෙම ගැටිති ඉතාම කුඩා නිසා එහි බලපෑමක් නොදැනී එම තත්වයේම පවතී. මෙය සිදුවීමට ඇති හේතුව තවමත් පැහැදිලි නොවන නමුත් වයස 30ට වැඩි බොහොමයක් කාන්තාවන්ගේ මෙම තත්වය ඇතිවන බවත්, සුදු ජාතික කාන්තාවන්ට වඩා කලු ජාතික කාන්තාවන් මෙයට වැඩිපුර මුහුණ දෙන බවත් වාර්තා වී ඇත. අධික තරබාරුබව, රතු මස් (හරක් මස්, එළු මස් ආදිය), හැම් ආදිය ආහාරයට ගැනීම ආදියද මෙම තත්වය වැඩි කිරීමට උදවු බව අනුමාන කෙරෙයි.

දරු උපතක් මේ වන විටත් සිදු වී ඇති කාන්තාවන්ටත්, උපත් පාලන පෙති භාවිතා කරන කාන්තාවන්ටත් මෙම තත්වය ඇතිවීමේ සම්භාවිතාව අඩු බවද, වයස 10ට පෙර මල්වර වූ තරුණියන්ට සහ තම මවුන්ට මෙම තත්වය ඇතිවී ඇතිනම් දියනියන්ටද එය ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවද පෙනී ගොස් ඇත. කාන්තාවන්ගේ ආර්තවාභාවය සිදුවූ පසු මෙම ගැටිති හටගැනීම අවම වන බව සොයාගෙන ඇත.

* මෙය ඇතිවී ඇති බවට වන රෝග ලක්ෂණ මොනවාද?

බොහෝවිට මෙය රෝග ලක්ෂණ නොපෙන්වන අතර, සමහර ලක්ෂණ නිසා ඔබට සැකයක් ඇති කර ගත හැක. ඔබට දින 7කට වඩා ඔසප් වීම සිදුවේනම්, එවිට අධික ලෙස රුධිර වහනය වේනම්, බඩ පුරවා දැමීම, යටිබඩ වේදනාව, මල බද්ධය සහ ලිංගික හැසිරීම්වලදී වේදනාකාරී වීම ආදිය පෙනෙන්නට තිබේ නම් වෛද්‍ය උපදෙස් පතන්න.

* මෙය හඳුනා ගැනීමට කරන වෛද්‍ය පරීක්ෂණ

ඔබටත් ඉහත ලක්ෂණ දැනෙයි නම් වෛද්‍ය උපදෙස් මත පහත දැක්වෙන පරීක්ෂණ කර ගත හැක:

  • අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්: අප මෙයට පෙර දැක්වූ පරිදි මෙම පරීක්ෂාව මගින් අධි ධ්වනි ශබ්ද තරංග යවා එහි පරාවර්තනය අනුව තීරයකට ඔබගේ අභ්‍යන්තර අවයව වල රූපයක් පෙන්වයි. එමගින් වෛද්‍යවරයා මෙම ගැටිති තිබේ නම් හඳුනා ගනී.
  • MRI: මෙය භාවිතා කරන්නේ චුම්භක තරංග විශේෂයකි. එමගින් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් වලටත් වඩා පැහැදිලි රූපයක් ලබාදෙයි.
  • Hysterosalpingogram: මෙහිදී ගර්භාෂය තුලට ඩයි වර්ගයක් ඇතුළු කර X Ray පරීක්ෂාවක් මගින් ගර්භාෂය හා ෆලොපීය නාලය නිරීක්ෂණය කරයි.
  • Sonohysterogram: සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවට වඩා මෙය පියවරක් ඉදිරියට යයි. ගර්භාෂය තුලට දියරයක් ඇතුළු කර අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාව කිරීමෙන් ඉහත සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවෙදී දැකිය හැකි නොවූ ගැටිතිද දැකිය හැක.

* මෙම ගැටිති ඇති වූ විට ලබාදෙන ප්‍රතිකාර

මෙම තත්වය ඉතා දරුණු නොවේ නම් වෛද්‍යවරයා ඔබට ප්‍රතිකාර අරඹන්නේ නැතිව විමසිලිමත්ව සිටීමට සැලැස්වීමට ඉඩ ඇත. ඒ ඔබගේ ගැටිති ශරීරයට තර්ජනයක් නොවන නිසා විය හැක. නමුත් බොහෝ විට ඔබට ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

  • හෝමෝන ප්‍රතිකාර: උපත් පාලන පෙති සහ වෙනත් හෝමෝන සහිත පෙති වර්ග භාවිතා කිරීමට ඔබගේ වෛද්‍ය වරයා නියම කරනු ඇත.
  • යකඩ හිඟකමට ප්‍රතිකාර: මෙම තත්වය යටතේ රුධිර වහනය අධික නම් එමගින් සිදුවන ශරීරයේ යකඩ ප්‍රමාණය පහල යාමට පිලියමක් ලෙස යකඩ අඩංගු බෙහෙත් නියම කරනු ඇත.
  • ශල්‍ය කාර්ම: ගැටිති තත්වය බරපතල නම් වෛද්‍ය වරයා ශල්‍ය කර්මයක් කරනු ඇත. එමගින් ඇතැම් විට ගැටිති ඉවත් කර දමන අතර සමහර දරුණු අවස්ථාවල ගර්භාෂය ඉවත් කිරීමටද සිදුවේ.

ඉහත දැක්වෙන ආකාරයට ඔබේ රෝග ලක්ෂණ අනුව නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාරයන්ට යොමු වීමෙන් සහ වෛද්‍ය උපදෙස් මත බෙහෙත් වර්ග හෝ ශල්‍ය කර්ම සිදු කිරීමෙන් ඔබට මෙම තත්වය නිසා සිදුවන ගැටළු මඟ හරවා ගත හැක.

……………….

Verified by Dr Ravi Liyanaarachchi, MBBS

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!