දරු උපතින් පසු පවුල් සැළසුම්කරණය හා උපත් පාලනය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

පවුල් සැලසුම්කරණය බොහොම සංකීර්ණ මාතෘකාවක්. පවුල් සැලසුම්කරණය ගැන කථා කරන විට අපේ සිතට එන්නේ උපත් පාලන ක්‍රම ගැන පමණයි. එහෙත් ඔබගේ කැදැල්ලේ පැටවුන් කීදෙනෙක් සිටිය යුතු ද යන්න ඉතා ම ගැඹුරින් සිතා බලා ගත යුතු තීරණයක්. එයට ඔබේ ආර්ථික තත්වය, සෞඛ්‍ය තත්වය, ඔබේ නෑදෑයන්ගෙන් ඔබට ඇති උදවු උපකාර, ඔබේ රැකියාව, ඔබේ නිවසේ ප්‍රමාණය වැනි දේවල් පවා බල පානවා. ශ්‍රී ලංකාවේ නැතත් වෙනත් සමහර රටවල දරුවාට වෙන ම කාමරයක් තිබිය යුතු අතර සමහර රටවල් වල එක් පවුලකට එක් දරුවෙකු පමණක් සිටිය යුතු බවට නීති පවා පනවා තිබෙනවා. ඔබ පලමු දරුවාත් දෙවැන්නාත් අතර පරතරය වැඩි කිරීමට හෝ ඔබට රිසි පරිදි දරුවන් ගනණක් ලැබ නැවත ගැබ් නො ගැනීමට හෝ සිතා සිටින්නේ නම් ඔබට උපත් පාලන ක්‍රම පිලිබඳ දැනුම ඉතාමත් ම වටිනවා.

බාධක ක්‍රම

ඔබේ සැමියාගේ ශුක්‍රාණු ඔබේ ඩිම්බ වෙතට ලඟා වීම වැලැක්වීම මේ බාධක ක්‍රම වලින් සිදු වෙනවා. පිරිමි හා ගැහැණු කොන්ඩම, Diaphragm සහ Cervical cap මේ ගණයට ගැනෙනවා. පිරිමි කොන්ඩමය ලේටෙක්ස් (Latex) හෝ වෙනත් පොලියුරිතේන් (polyurethane) වර්ගයකින් නිපදවා තිබෙනවා. පුරුෂ ලිංගය ප්‍රාණවත් වූ පසු කොන්ඩමය පැලඳිය යුතුයි. මෙමඟින් සමාජ රෝග බෝවීම ද වැලකෙනවා. කාන්තා කොන්ඩමය පොලියුරිතේන් වලින් සාදන ලද මල්ලක් වැනි උපකරණයක්. එය ලිංගික සංසර්ගයට පෙර ඔබේ යෝනි මාර්ගයේ තැන්පත් කල යුතුයි. Diaphragm නම් උපකරණය අර්ධ ගෝලාකාරයි. එය දරු ප්‍රසූතියෙන් පසු ඔබේ යෝනි මාර්ගය තුල තැන්පත් කල යුතුයි. ඔබ දරු ප්‍රසූතියට පෙර දී Diaphragm එකක් පාවිච්චි කලත් දරු ප්‍රසූතියේ දී ඔබේ යෝනි මාර්ගයේ ප්‍රමාණය වෙනස් වන නිසා ඊලඟට ඔබට පෙරට වඩා ටිකක් ලොකු Diaphragm එකක් භාවිතා කිරීමට සිදු විය හැකියි. Cervical Cap එක වෛද්‍ය වරයෙකු හරහා ලබා ගත හැකියි. Diaphragm එක තැන්පත් කිරීම දරු උපතෙන් සති 6 කට පසුවත් Cervical cap එක තැන්පත් කිරීම දරු උපතින් සති 10 කට පසුවත් කල හැකියි.

හෝමෝනමය ක්‍රම

හෝමෝන අඩංගු බෙහෙත් ගැනීමෙන් ඔබේ ලිංගික අවයව වල ක්‍රියාකාරීත්වයේ යම් යම් වෙනස් කම් ඇති කිරීමෙන් ගැබ් ගැනීම, ශුක්‍රාණු ඩිම්බය වෙත පැමිණීම හා යුක්තානුව ගර්භාෂයේ තැන්පත් වීම වලක්වනවා. මෙම ක්‍රම උපත් වැලැක්වීමට ඉතා සාර්ථක වුවත් සමාජ රෝග බෝ වීම වලක්වන්නේ නැහැ. එමෙන් ම, මෙම පෙති ගැනීමෙන් ඔබේ පාදවල රුධිර වාහිනී වල කැටි ඇති වීමේ හා දීර්ඝ කාලීන භාවිතයේ දී පියයුරු පිලිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. එනිසා පවුලේ සාමාජිකයන්ගේ පියයුරු පිලිකා තිබේනම් හෝ නහර තුල ලේ කැටි ගැසීමේ අවදානම වැඩි අයට මේ හෝමෝනමය බෙහෙත් සුදුසු නැහැ. කිරි දෙන මව් වරුන්ටත් මේ හෝමෝනමය පෙති සුදුසු නැහැ. උපත් පාලන පෙති දින 28 ක් තිස්සේ ගත යුතුයි. එක් පැකට්ටුවක හෝමොන පෙති 21 ක් හා යකඩ පෙති 7 ක් අඩංගුයි. යකඩ පෙති ගන්නා දින වල දී ඔසප් වීම සිදු වෙනවා. සම යටට තැන්පත් කරන implant නිසාත්, Depo Provera එන්නත් නිසාත් ඔසප් වීම නැවතිය හැකියි. Implant එක ඉවත් කල පසුත්, එන්නත ලබා දී ක්‍රියා කාරී කාලය අවසන් වූ පසුත් නැවත සරු භාවය පෙර පරිදි යථා තත්වයට පත් වෙනවා.

ගර්භාෂය තුල තැන්පත් කරන උපකරණ (IUCD)

මෙය T හැඩැති කුඩා උපකරණයක්. වෛද්‍යවරයෙකු මගින් මෙය තැන්පත් කරවා ගත හැකියි. මෙම උපකරණය හෝමෝන අන්තර්ගතව හා හෝමෝන රහිතව නිපදවා තිබෙනවා. දරු ප්‍රසූතියෙන් පසුව වඩාත් සුදුසු වන්නේ හෝමෝන රහිත IUCD යි. දරු ප්‍රසූතියෙන් පසු සති 6 කට පසුව හෝ සමහර අවස්ථා වල දී දරු ප්‍රසූතිය සමඟ ම IUCD තැන්පත් කල හැකියි. තැන්පත් කල පසු මුල් සති 2 ක තුල දී ආසාදන ඇතිවීමේ අවදානමක් තිබෙනවා. වසර 3 – 5 ක් පමණ කාලයක් මෙම උපකරණය තිබෙන්නට හැරිය හැකියි. මෙමගින් ද සමාජ රෝග වලට එරෙහි ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

ඔබගේ සෞඛ්‍ය තත්වයට අනුව සුදුසු ම ක්‍රමය ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

…….

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL).

…….

31379 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!