නිතර භාවිතා වන උපත් පාලන ක්‍රම

පවුල් සැලසුම කියන්නේ ඉතාම වැදගත් දෙයක්. අපේ සමාජයේ අනාගත සංවර්ධනයටත්, ඔබේ පවුලේ සතුට සහ සුභසිද්ධියටත් මෙය ඉතා බලපානවා.

පවුල් සැළසුම් ක්‍රියාවට නැංවීමේදී ඉතා වැදගත් අංගයක් වන්නේ උපත් පාලනයයි. ඔබ බොහෝ දෙනෙක් මේ ගැන අපෙන් ඇසූ නිසා වෛද්‍යතුමන් විසින් ලියූ ලිපිය පහත පල කරනවා…

හැඳින්වීම

උපත් පාලන ක්‍රම වර්ග දෙකක් තිබෙනවා. එනම් ස්වාභාවික හා කෘත්‍රිම ක්‍රමයි. ස්වාභාවික ක්‍රම වලට වඩා නවීන කෘත්‍රිම ක්‍රම වල සාර්ථකත්වය වැඩියි.

  • ස්වාභාවික ක්‍රම වලට උදාහරන ලෙස, මෝචනයට ප්‍රථම පුරුශ ලිංගය පිටතට ගැනීම, ඔසප් චක්‍රයේ නිසරු  කාලය භාවිතා කිරීම සහ කිරි දෙන සමයේ ඔසප් නොවීම දැක්විය හැකියි. ස්වභාවික ක්‍රම වල කිසිම අතුරු ප්‍රථිපලයක් නැහැ.
  • කෘත්‍රිම ක්‍රමවලඋදාහරණ ලෙස, පිරිමි හා කාන්තා කොන්ඩම, ලූප්, සම යට තැන්පත්ක් කරන implant හා උපත් පාලන පෙති දැකිවිය හැකියි.

පිරිමි කොන්ඩම

මෙය ඉතාම ලාභදායී ක්‍රමයක්. මෙයින් සමාජ රෝගවලට එරෙහිව ආරක්ෂාවක් ලැබෙනවා. සාමාන්‍ය භාවිතයේ දී අසාර්ථක වීමේ සම්භාවිතාව 14% ක්. විද්‍යානුකූල හා ඉතාම නිවැරදි භාවිතයෙන් අසාර්ථක වීමේ සම්භාවිතාව 4% ක් දක්වා අඩුකරගත හැකියි. වැරදි පැලඳීම, ලිහිසි ද්‍රව භාවිතය හා මුලු සංසර්ගය පුරාම භාවිතා නොකිරීම අසාර්ථක වීමට හේතු වෙනවා. සමහරුන්ට කොන්ඩම සාදා තිබෙන රබර් වර්ගයට අසාත්මිකතාවයක්ද ද ඇති විය හැකියි.

කාන්තා කොන්ඩම

පිරිමි කොන්ඩම මෙන්ම කාන්තා කොනඩම ද එක් වරක් පමණක් භාවිතා කිරීමට නිපදවා තිබෙනවා. මෙහි ඝණ රබර් වලළු දෙකක් තිබෙනවා. එකක් යෝනි මාර්ගය ඇතුලත පිහිටන ලෙසත්, අනෙක පිටත පිහිටන ලෙසත් පැලඳිය යුතුයි. මෙහි ශුක්‍රාණු නාශක ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැහැ. පිරිමි හා කාන්තා කොනඩම පැලඳීමෙන් යම් තරමකට ලිංගික ආශ්වාදය අඩු වෙන බවට මතයක් තියෙනවා. මෙය එක් එක් අයට අනුව වෙනස් වෙන දෙයක්.

කාන්තා ගැබ්ගෙල ප්‍රාචීරය (diaphragm)

මෙය රබර් වලින් නිපදවා ඇති, පොල් කටුවක හැඩැති කුඩා උපකරණයක්. මෙය ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් ලබා ගත හැකියි. මෙය ලිංගික සංසර්ගයට පැය 6 කට ප්‍රථම තැන්පත් කල යුතු වන අතර සංසර්ගයෙන් පසු පැය 6 ක් ඉවත් නොකර තැබිය යුතුයි.

ලූප්

මෙය ඔබේ ගර්භාෂය ඇතුලත් තැන්පත් කරන, T හැඩැති කුඩා ප්ලාස්ටික් උපකරණයක්. සමහර ලූප් වල හෝමෝන අඩංගු කර ඇති අතර හෝමෝන් අඩංගු නැති ලූප් ද ඔබට ලබා ගත හැකියි. මෙම ලූප් දීර්ඝ කාලීන උපත් පාලන් ක්‍රමයක්.හෝමෝන සහිත ලූප් තැන්පත් කල විට ඔසප් වීම නැවතිය හැකියි. සාමාන්‍ය ලූප් වලින් එහෙම සිදු වන්නේ නැහැ.ලූප් තැන්පත් කල පසු සති දෙකක් කාලයක් ආසාදන ප්‍රවනතාවක් තිබෙනවා. කලාතුරකින් අවස්ථාවල ඔසප් වේදනාව වැඩි වීම, පැලෝපීය නාලයේ ගැබ් පිහිටීම වැනි ප්‍රශ්න ඇති විය හැකියි. ලූප් තැන්පත් කිරීම වෛද්‍යවරයෙකු විසින් කල යුතුයි. හෝමෝන අන්තර්ගත ලූප් තැන්පත් කිරීමෙන් පසු තරමක බර වැඩි වීමක්, සමහර කාන්තාවන්ගේ වාර්ථා වී තිබෙනවා.

උපත් පාලන පෙති

ඔබට වෙලඳ පොලේ ලබා ගත හැකි උපත් පාල පෙති වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා. progesterone පමනක් අන්ත්‍රගත පෙති හා combined උපත් පාලන පෙති ඒ වර්ග දෙකයි. combined පෙත්ත ඉතාම ආරක්ෂාකරී හා සාර්ථක ක්‍රමයක්. පූර්ණ ක්‍රියාකාරීත්වය පෙති ගැනීමට පටන් ගෙන 4-7 දවස වන විට ලැබෙනවා.පෙත්ත නැවත්වූ විටද ඉතා ඉක්මනින් සරු භාවය නැවත් ලැබෙනවා. වෙලඳ පොලෙන් ගත හැකි සමහර පෙත් දින 21 ක්, 28ක් යනාදී වශයෙන් ගැනීමට නිපදවා තිබෙනවා. උපත් පාලන පෙති වලින් සමාජ රෝගවලින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. උපත් පාල පෙති ගන්නා විට ඔබේ ඔසප් චක්‍රය ඉතා ක්‍රම්මනුකූල සිදු වෙනවා. සමහර කාන්තාවන්ගේ බර වැඩි වීමක්, උපත් පාලන පෙති ගැනීමෙන් සිදු වෙනවා. කකුල් වල රුධිර නාල වල ලේ කැටි ගැසෙන අය, හද්වත් රෝග ඇති අය උපත් පාලන පෙති ගැනීම අනතුරුදායක විය හැකියි. ඔබගේ වෛද්‍යවරයාගෙන් අදාල් උපදෙස් ලබා ගන්න. වෛද්‍ය උපදෙස් අනුව මෙම පෙති භාවිත කරන්න මතක තබා ගන්න.

සම යට තැන්පත් කරන implants

ඉතා කුඩා සිලින්ඩර හැඩයට මෙම implants නිපදවා තිබෙනවා. මෙහි හෝමෝන අඩංගු බැවින් ඔසප් චක්‍රය නතර වෙනවා. වෛද්‍යවරයෙකු විසින් පමණක් මෙය තැන්පත් කල යුතුයි. ඔවුන්ට මේ සඳහා විශේෂ පුහුනුවක් තිබෙනවා. මෙම implants විවිධ මිල ගනන් වලට තිබෙන අතර මෙය භාවිතා කරන සමහර කාන්තාවන්ට ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා.

…………………………………………………………………………………………………………………………..

By: Dr. T. M. S. S. B. Madugalle M.B.,B.S (COL)

…………………………………………………………………………………………………………………………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

45361 times

mathru.lk

mathru.lk