දරුවාගේ උදරයේ අපහසුතා ගෙන එන ලැක්ටෝස් නොදිරවීම

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

ඔබ දන්නවාද කිරි බීම සමහර දරුවන්ට මවු කිරි හෝ වෙනත් කිරි වර්ගයක් දිරවීමට නොහැකි තත්ත්වයක් ඇති වන බව? මවු කිරි දිරවීමට අත්‍යවශ්‍ය එන්සයිමයක් තමයි ලැක්ටේස්.

සමහර ලදරුවන්ට ලැක්ටේස් එන්සයිමය ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයක්. සමහර ලදරුවන්ට බඩ වැලේ වෙනත් රෝග තත්වයක් නිසා ලැක්ටෝස් දිරවීමේ හැකියාව අඩු වෙනවා. ඉතින් එවැනි විට දරුවා විවිධ අපහසුතා වලට මුහුණ පානවා. අද ලිපිය ඒ ගැන.

ලැක්ටෝස් නොදිරවීම හඳුනා ගන්නේ කෙසේ ද?

ලැක්ටෝස් නොදිරවීම නිසා ලිහිල් මළපහ, බඩ පිපීම, බඩේ වේදනාව, ගුද මාර්ගයෙන් වාතය පිටවීම, ඔක්කාරය හා වමනය ඇති වෙනවා.

ලැක්ටෝස් නොදිරවීම නිසා එම රෝග ලක්ෂණ ඇති වන්නේ කෙසේ ද?

ලැක්ටෝස් යනු කාබෝහයිඩ්‍රේට් සංයෝගයක්. එය කිරි වල හා කිරි නිෂ්පාදන වල ඉතා බහුලව අඩංගු වෙනවා. ඔබේ දරුවාට ලැක්ටෝස් එලෙසම අවශෝෂණය කල නොහැකියි. ලැක්ටෝස් අවශෝෂණයට පෙර එහි සංඝටක වන ග්ලුකෝස් හා ගැලැක්ටෝස් බවට ජීර්ණනය කල යුතුයි. එම ජීර්ණනය සිදු කරන්නේ දරුවාගේ ග්‍රහණිය තුල දී ලැක්ටේස් නම් එන්සයිමයකින්. මව් කිරි දිරවීමට අවශ්‍ය නිසා උපන් අළුත ලදරුවන්ගේ බඩ වැලේ ලැක්ටේස් එන්සයිමය සුලභයි. ඔබේ ලදරුවා වැඩෙන විට ඔහුගේ ශරීරයේ ලැක්ටේස් එන්සයිම ප්‍රමාණය අඩු වෙන නිසා ටිකෙන් ටික ලැක්ටෝස් දිරවීමේ හැකියාව අඩු වෙනවා. සමහර ලදරුවන්ට ලැක්ටේස් එන්සයිමය ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයක්. සමහර ලදරුවන්ට බඩ වැලේ වෙනත් රෝග තත්වයක් නිසා ලැක්ටෝස් දිරවීමේ හැකියාව අඩු වෙනවා.

ළදරුවන්ට මුල් මාස 6 තුල දී මව් කිරි පමනක් දිය යුතුයි. මව් කිරි සමඟ විශාල ලැක්ටෝස් ප්‍රමානයක් ලදරුවාගේ ආහාර මාර්ගයට එකතු වෙනවා. ලැක්ටෝස් දිරවීමේ හැකියාව අඩු නම්, නොදිරවූ ලැක්ටෝස් ආහාර මාර්ගයේ රැඳෙනවා. මෙසේ රැඳුනු විට, osmosis නම් ක්‍රියාවලියක් නිසා ආහාර මාර්ගයට අධික ව ජලය එකතු වෙනවා. මේ ජලය නිසා බඩ වැල් විස්තාරනය වී, ආහාර මාර්ගය දිගේ ආහාර ගමන් ගන්නා වේගය වැඩි වෙනවා. මේ නිසාත් ආහාර ජීර්ණනය අඩු වෙනවා. අධික ව ජලය එකතු වීමෙන් ලිහිල් ව මළ පහවීමක් සිදු වෙනවා. මහාන්ත්‍රයේ දී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ලැක්ටෝස් මේදාම්ලයක් බවට පත් වී වායුවක් නිදහස් කරනවා. මේ වායුව නිසා බඩ පුරවා දැමූ ගතියක් හා නිතර ගුද මාර්ගයෙන් වාතය පිටවීමක් සිදු වෙනවා. ජලයෙන් හා වාතයෙන් බඩ වැල් විස්තාරනය වීමෙන් බඩේ වේදනාව, ඔක්කාරය හා වමනය ඇති වෙනවා.

ළදරුවන්ට ලැක්ටෝස් නොදිරවීම ඇති වන්නේ කෙසේ ද?

සහජ ලැක්ටෝස් නොදිරවීම ඉතා දුර්ලභයි. එය autosomal recessive වර්ගයට අයත් ජානමය තත්වයක්. ප්‍රාථමික ලැක්ටෝස් නොදිරවීම ඇති වන්නේ ලදරුවන් වැඩෙන විට ආහාර මාර්ගයේ ලැක්ටේස් එන්සයිමය අඩු වීම නිසයි. ද්විතියික ලැක්ටෝස් නොදිරවීම ඇති වන්නේ ආහාර මාර්ගයේ වෙනත් අසනීප නිසයි. එම අසනීප නිසාත් ඒවාට දෙන බෙහෙත් නිසාත් ආහාර මාර්ගයේ ඇතුලත් ස්ථරයට හානි පැමිනෙණවා. ලැක්ටේස් එන්සයිමය ඇත්තේ මේ ස්ථරයේ නිසා ඉහත කී හානියත් සමඟ ලැක්ටෝස් නොදිරවීම ඇති වෙනවා.

ආහාර මාර්ගයේ ප්‍රදාහය, Crohn’s disease හා පණු රෝග නිසා ද්විතියික ලැක්ටෝස් නොදිරවීම ඇති වෙනවා.

ලැක්ටෝස් නොදිරවීම සුව වීමට ඇති ප්‍රථිකාර මොනවා ද?

ලැක්ටෝස් නොදිරවීම මාරන්තික වන්නේ නැහැ. බොහෝ විට එය සුළු අපහසුතාවක් ම පමණයි.

(ඔබගේ වෛද්‍යවරයා/වෛද්‍යවරිය හමුවී ලබා ගන්නා උපදෙස් මත පමණක් පහත දේ පිළිපදින්න)

මුලින් ම ඔබේ දරුවාගේ ආහාර වේල වෙනස් කල යුතුයි. ලැක්ටෝස් අඩංගු ආහාර දරුවාට නොදෙන්න. ආහාර වර්ග මිල දී ගැනීමට පෙර ලේබලය බැලීම වැදගත්. ලැක්ටෝස් නොදිරවීමෙන් පෙලෙන බොහෝ රෝගීන්ට කිරි සුළු ප්‍රමාණයක් පමනක් ජීර්ණනය කිරීමේ හැකියාව තිබෙනවා. එයට හේතුව ඔවුන්ගේ ආහාර මාර්ගයේ සුළු ප්‍රමාණයක් ලැක්ටේස් එන්සයිමය තිබීමයි. එනිසා හදිසියේ අතපසු වීමකින් කිරි සුළු ප්‍රමාණයක් ආහාරයට ගත්තත් බොහේ විට අසනීපය මතු වී එන්නේ නැහැ. ලැක්ටෝස් රහිත ආහාර වර්ග වෙලඳ පොලේ තිබෙනවා. කිරි වලට වඩා චීස් වර්ග දිරවීම හොඳයි. සෝයා අඩංගු ආහාර වර්ග හොඳින් දිරවනවා. ලැක්ටේස් එන්සයිමය ම ආහාරයට ගත හැකි අන්දමට සකසා තිබෙනවා. එහෙත් එන්සයිම අඩංගු බෙහෙත් අසාර්ථක වන්නේ මාත්‍රාව ගනණය කිරීමේ අපහසුව නිසයි. ලැක්ටෝස් නොදිරවීම සමඟ අස්ථි දුබල වීම ඇති විය හැකි නිසා කැල්සියම් අඩංගු බෙහෙත් ලබා දීම යෝග්‍යයි.

………….

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL)

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!