ඔබේ දරුවා කෑමට හොරයිද?

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

ඝණ අහාර ගන්න වයසේ දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් අනිවාර්යයෙන්ම හිත කලබල කරගන්න කාරනාවක් වන්නේ තමන්ගේ දරුවාගේ ආහාර පුරුදු. අම්මා කෙනෙක් අනේ අපේ දරුවා හරියට කන්නේ බොන්නේ නැතිව කෙට්ටු උනාම මිනිස්සු මොනා කියයිද සිතමින් ලත නොවන්නේ නම් පුදුමයක්. මවක් සතුව තම දරුවා කෙරෙහි තිබෙන අප්‍රමාණ ආදරය සහ කරුණාව නිසා එසේ සිතීම සාධාරනයි. නමුත් මේ සම්බන්ධයෙන් සිත් තැවුල් ඇතිකරගත යුතු සහ බියවීමට අවශ්‍ය නැති මට්ටම ගැන අදහසක් නොතිබුනොත් දරුවා සහ මව අතර සම්බන්ධතාවය පිරිහීයාමට පුළුවන්.

* මුලින්ම මේ ගැන සළකා බලන්න

  • දරුවා යම්කිසි අසනීප ලක්ෂණ පෙන්නුම් කරනවාද?
  • පවුලේ හෝ වටපිටාවේ වෙනස්කම්/ සහෝදර සහෝදරියන්ගේ හෝ ළදරු පාසලේ අනිත් ළමුන්ගේ අඩන්තේට්ටම් / අහිතකර පාරිසරික තත්ත්වයන් නිසා දරුවා මානසික පීඩනයකට ලක් වෙලාද?
  • දරුවා මේ වන විට යම් කිසි වෛද්‍ය ප්‍රථිකාර ලබමින් සිටිනවාද?
  • දරුවා නීරක්ති ලක්ෂණ පෙන්වනවාද?
  • යම් කිසි පණු රෝගයක ලක්ෂණ තිබේද?
  • දරුවා මලබද්ධයෙන් පීඩා විඳිනවාද?

මේ කරුණු සළකා බලා එවැනි විටෙක වහාම වෛද්‍ය උපදෙස් ගන්න. එසේ නොවී, තාවකාලිකව යම් යම් කාල වල පමණක් ඇතිවන ආහාර අරුචිය තත්ත්වයක් නම් සොයා බලමු අපට කොහොමද දරුවාගේ ආහාර රුචිය වර්ධනය කරගත හැකි වන්නේ කියා.

* අතර මැද කෙටි ආහාර සහ පැණි රස කෑම

ඇතැම් විට දරුවා ප්‍රධාන ආහාර වේල් අතර කෙටි ආහාර සහ පැණි රස කෑම කනවා වෙන්න පුළුවන්. එවිට දරුවාට දැනෙන්නේ බඩ පිරුණ බවක්. සමහර විට ප්‍රමාණයෙන් ඉතා කුඩා රසකැවිල්ලක් උනත් දරුවාගේ කුඩා ශරීරයට බොහෝ ශක්තිය ගෙන එනවා වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අවධානයෙන් සිට දරුවා කෙටි අහාර සහ පැණි රස කෑම වලින් ඈත් කර තබන්න.

* දරුවා ඇති තරම් කය වෙහෙසවන්නේ නැතිද?

දැන් කාලයේ බොහෝ නිවාස අවට සෙල්ලම් කිරීමට ඉඩ කඩ නැහැ. ඒ වගේම නිවෙස් අවට දරුවන් උනත් සෙල්ලම් කිරීමට එකතු වෙනවා අඩුයි. පවුලේ දරුවන් සිටිනෙත් බොහෝ විට උපරිම තුන් දෙනෙක්… මේ තත්ත්වය අනුව, දරුවන් තම කාලය බොහෝ විට ගත කරන්නේ රූපවාහිණිය ඉදිරියේ හෝ ජංගම දුරකථන/ටැබ් ආදිය සමග (එහි ඇති වාසි අවාසි ගැනත් අපි වෙනමම ලිපියක් ගෙන එනවා). දරුවන් මෙලෙස කාලය ගත කරන නිසා ඔවුන්ගේ ශරීරයේ ශක්තිය දහනය කර ගැනීමට ලැබෙන අවස්ථා ගොඩක් අඩුයි. ඒ සමගම ඔවුන්ගේ ආහාර රුචියත් අඩු වෙනවා.

* ඔබ ලබා දෙන අහාර පිරියක් ඇති කරන ඒවා නොවෙයි ද?

කෙතරම් පෝෂණමය වටිනාකමක් තිබුනත් වැඩක් නැහැ ඒ අහාරය කෙනෙකුට රුචියක් ඇති වන ලෙස පිළිගන්වා නැති නම්. ඒ නිසා ඔබ සකසන ලද අහාර මනා ලෙස ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. දරුවන් කැමතියි විවිධ වර්ණ සහ හැඩතල වලට. කෘත්‍රිම වර්ණක නොමැතිව ස්වභාවික ලෙස විවිධ වර්ණ ඇති ආහාර කෙතරම් තිබෙනවාද? රතු, කොළ, කහ, තැඹිලි, දම් වගේ පාටින් විවිධ එළවළු පළතුරු වර්ග සියළු කෑම වේල් වලට එක කර ගන්න. ඒ වගේම ඔබට පුළුවන් එම කෑම දරුවන් කැමති කාටුන් චරිත, ස්වභාවික පරිසරයේ ඇති දේ ආදී හැඩයන්ට කැපීමට හෝ එලෙස සැකසීමට. ඒවාට අවශ්‍ය මෙවලම්  මිල අධික වන්නේ නැහැ. අන්තර්ජාලයෙන් මිලදීගෙන නිවසටම ගෙන්වා ගන්නත් පුළුවන්.

* කෑම වෙලාව විනෝදාත්මක කරන්න

කෑම වෙලාව ආසන්න වන විට දරුවා ඒ ගැන උද්යෝගයට ලක් කරන්න ඔබට පුළුවන්. දරුවා තරමක් වයසින් වැඩි නම් අහාර පිළියෙළ කරන අයුරු දරුවාට පෙනෙන ලෙස කරන්න පුළුවන්. ඒ වගේම ආහාරයට එකතු කරන එළවළු පළතුරු හොඳින් සෝදා ඔවුන්ට ඒ සමග සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ආහාර ගැනීම ක්‍රීඩාවක් (සෙල්ලමක්) ලෙස කරන්න පුළුවන්…

හැබැයි කෑම කවන වෙලාවේ රූපවාහිණිය හෝ ජංගම දුරකථන පෙන්වා ඒ දෙසම බලාගෙන කන්න පුරුදු කර ගැනීම නම් නුවණට හුරු නැහැ.

* කුඩා ආහාර වේල් කිහිපයක්

අප ඉහත කීවා ආහාර වේල් අතර කෙටි ආහාර/ පැණි රස ආදිය ගැනීම නිසා ප්‍රධාන ආහාර වේල් කෙරෙහි තිබෙන උනන්දුව අඩු බව. ඒ නිසා ඔබට සළකා බලන්න පුළුවන් විවිධ පෝෂ්‍ය පදාර්ථ එක් එක් අවස්ථාවේ ලැබෙන ලෙස පැය 3කට හෝ 4කට වරක් ආහාර ලබා දෙන්න.

* එකම පෝෂණය විවිධ කෑම!

ඇතැම් මවු වරුන්ගේ හිතේ තිබෙන්නේම මගේ දරුවාගේ බඩ බත් වලින් පුරවන්නේ කොහොමද කියන එක පමණයි. නමුත් දරුවාට බත් වේලකින් ලබාදෙන පෝෂණය වෙනත් ආකාරයකින් ලබා දෙන්න පුළුවන්. මෙහිදී වැදගත් වන්නේ පිෂ්ඨය, කොළ එළවලු, කහ එළවලු, ප්‍රෝටීන් සහ මේද ලැබෙන ආහාර වේලක් සකස් කර ගැනීමයි. උදාහරණ ලෙස රොටී, පිට්ටු, ඉඳිආප්ප හෝ ආප්ප ආදියෙන් පිෂ්ඨය ලැබෙන අතර, රොටී සහ පිට්ටු වලට නම් එළවළුවක් මිශ්‍ර කර පිළියෙළ කරන්නත් පුළුවන්. ඉඳිආප්ප උනත් නූඩ්ල්ස් පිළියෙළ කරන ආකාරයට කහ සහ කොළ එළවලු එකතු කර හදන්න පුළුවන්. ඒ වගේම බිත්තර ඔම්ලට් එකටත් එළවළු සහ පළා වර්ග මිශ්‍ර කරන්න පුළුවන්. නිවසේදී පිරිසිදුවට සාදා ගන්න කට්ලට් එකත් දරුවා ප්‍රිය කරන කෑමක්. හැකි අවස්ථාවල මස් සහ මාළු කෑමට එකතු කර ගැනීමේ වරදක් නැහැ. මිල අධික මාළු මිලදී ගැනීමත් අත්‍යවශ්‍ය නැහැ. මිල අඩු නමුත් පෝෂණය හොඳින් ලබා දෙන කුඩා මාළු වෙළඳපොලේ බහුලව තිබෙනවා.

ඉතින් මේ ආකාරයට දරුවාට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ තවත් ආහාරයකින්  ලැබෙනවා නම් බත් කන ලෙස පෙරැත්ත කරමින් පීඩනයක් එල්ල කරන්න ඕන නැහැ නේද?

ඒ වගේමයි ඔබට සලකා බලන්න පුළුවන් කවුපි, කරලා, මුං ඇට ආදිය.

* බල කරන්න එපා

තමන්ගේ දරුවාට කෑම කවන්න තියෙන ඕනෑකම නිසාම බොහෝ මවු වරුන් දරුවාට කරදරයක් වන මට්ටමටම පීඩනයක් එල්ල කරනවා. ඒ නිසා ඇතැම් විට දරුවන් මුරණ්ඩු තත්ත්වයටත් පත්වෙනවා. ඉතින් දරුවාගේ බර සහ උස නිසි මට්ටමේ පවතිනවානම් අනවශ්‍ය ලෙස දරුවාව අපහසුතාවයට පත් කරමින් කෑම කවන්න ඕන නැහැ නේද?

* අවසන් වශයෙන්

දරුවාගේ ආහාර සහ පෝෂණය ගැන නිසි ලෙස දැනුවත්ව කටයුතු කිරීමෙන් ඔබට පුළුවන් දරුවාගේ ආහාර අරුචිය අවම කරගෙන, ශරීරයට අවශ්‍ය පෝෂණ මිශ්‍රණය නිසි ලෙස තුලනය කර ලබා දෙන්න. ඒ නිසා නිතරම මේ ගැන කරුණු සොයා දැනුවත් වන්න. අපේ වෙබ් අඩවියෙන් දරුවාට සුදුසු පෝෂණය සහ රසය මනා ලෙස සපිරුණු අහාර recipe ඉදිරියේ නිතරම ගෙන එනවා. ඔබේ ප්‍රියතම recipe එකත් අප සමග බෙදා දෙන්න අමතක කරන්න එපා.

………..

Verified by: Dr Mrs Kaushalya Mendis, MBBS, DCH

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!