දරුවන්ගේ පාචනය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

දරුවාට දිගින් දිගටම බඩ එළිය යන තත්ත්වයක් ඇති උනොත් ඔබ ඉතාම කළබල වන බව රහසක් නොවනවා පමණක් නොවේ එය ඉතා සාධාරණයි! අද ලිපියෙන් ඔබව ඒ ගැන දැනුවත් කරනවා…

* කුමක්ද මේ පාචනය?

පාචනය යනු ආහාර මාර්ගයේ විෂ බීජ ඉවත් කිරීමට ශරීරයෙන් ඇති වන ප්‍රතික්‍රියාවක්. කුඩා දරුවන් ඔවුන්ට අහු වෙන සියලු ම දේ කටේ දමා ගන්නා නිසා ආහාර මාර්ගයට විෂබීජ ඇතුලු වීම ඉතාමත් සුලභ සිද්ධියක්. විෂබීජ වලට අමතර ව බඩ වැලේ වෙනත් රෝග නිසාත් පාචනය ඇති වෙන්න පුළුවන්. අපිරිසිදු අත්වලින්, අපිරිසිදු ජලයෙන් හා ආහාර වලින් හා සුරතල් සතුන්ගෙන් දරුවාගේ ආහාර මාර්ගයට විෂබීජ ඇතුළු වෙනවා. එසේ ඇතුළු වන බැක්ටීරියා, වෛරස් හා පරපෝෂිතයන්ගෙන් පාචනය ඇති වෙන්න පුළුවන්. මේ අතර සුලභ ම වෛරස් ආසාදනයි.

පාචනය සරල වශයෙන්, රුධිරය සමඟ බඩ එලියේ යාම හා රුධිරය රහිතව වතුර මෙන් බඩ එලියේ යාම ලෙස කොටස් දෙකකට වෙන් කර දක්වන්න පුළුවන්.

* රුධිරය සමඟ බඩ එලියේ යාම

රුධිරය සමඟ බඩ එලියේ යාම ඇති වන්නේ බඩ වැලේ බිත්ති තුලට කාවදින (Invasive) විෂබීජ නිසායි. එසේ නොකරන විෂබීජ නිසා වතුර මෙන් බඩ එලියේ යාමක් ඇති වෙනවා. E.coli, Salmonella, Shigella වැනි බැක්ටීරියා ආහාර මාර්ගයේ බිත්ති තුලට කාවදිමින් හානි පමුණුවනවා. මේ නිසා සමහර විට අධික ව ලේ  වහනයක් සිදු වෙන්න පුළුවන්. සමහර විට මේ බැක්ටීරියා රුධිර සංසරන පද්ධතියට ද ඇතුළු විය හැකියි.

Rotavirus නම් වෛරසය දරුවන්ගේ පාචනය ඇති කරන සුලභ විෂබීජයක්. මෙනිසා වතුර මෙන් බඩ එලියේ යාමක් සිදු වෙනවා. මෙ වෛරසය නිසා එක දිගට පැතිරී යන පාචන තත්වයක් ඇති විය හැකියි. මේ වෛරසයට එරෙහි ප්‍රතිශක්ති එන්නතක් දැන් භාවිතයේ ඇති අතර එයින් 75% ක් පමණ පාචන රෝග අවදානම අඩු වන බව සොයා ගෙන තිබෙනවා.

Ceoliac disease, inflammatory bowel disease, lactose intolerance, හා අසාත්මිකතා නිසාත් පාචනය ඇති වෙනවා. මෙවැනි පාචන තත්වයන් නිතර නිතර ඇතිවෙන අතර තරමක් දිග කාලයක් සුව නොවී පවතිනවා.

* රෝග ලක්ෂණ

ඔබේ දරුවාට තද උණ ගතියක්, තද බඩේ වේදනාවක්, නොනවතින වමනය, බඩ එලියේ යාම ඇත්නම් ඔබේ ලමා රෝග වෛද්‍යවරයා හමු වන්න. තොල කට වියලීම, අඬන විට කඳුලු නො ඒම, ඇතුලට ගිලුණු ඇස්, දරුවා මුත්‍රා කිරීම අඩු වීම, වියලි සිසිල් සම, පණ නැති ගතිය, ක්‍රියාශීලී බව අඩු වීම, ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇති නම් ඔබේ දරුවා තදින් විජලනය වී ඇති බව හඳුනා ගත හැකියි. එවිට වහා ම රෝහලට රැගෙන ඒම ඉතා වැදගත්.

* ඉක්මන් සුවය ලැබීමට…

රෝහලේ දී දරුවාට සේලයින්, ජීවනී වැනි ද්‍රව වර්ග ලබා දෙනවා. රුධිරය සමඟ පාචනය තිබේ නම් ප්‍රතිජීවක බෙහෙත් වර්ග ලබා දෙනවා. මෙහි අරමුණ වන්නේ දරුවා ගේ සිරුරෙන් ඉවත් වූ ජලය ප්‍රමාණය නැවත ලබා දීමයි. ඔබට ලැබෙන වෛද්‍ය උපදෙස් අකුරට ම පිලිපැදීමෙන් ඔබේ දරුවාට  ඉක්මන් සුවය ලබන්න පුළුවන්.

පාචනය නිසා දරුවාට විවිධ අපහසුතා ඇති වෙනවා. එනිසා පාචනය වැලැක්වීමේ ක්‍රම ගැන දැන ගැනීම ඉතා වැදගත්. පාචනය වැලැක්වීමට ගත හැකි හොඳ ම පියවර ඔබේ කුඩා දරුවා සෙල්ලම් කල පසු, වැසිකිලි ගිය පසු හා කෑමට පෙර අත් සේදීමයි. දරුවා ගැවසෙන හා සෙල්ලම් කරන තැන් නිතර පිරිසිදු කිරීම, ආහාර පිසීමට පෙර හොඳින් සෝදා ගැනීම, ආහාර පිසීමට පෙර ඔබේ අත් සේදීම,  ආහාර පිසින උපකරණ ඉතා පිරිසිදු ව තැබීම, මස් වර්ග හොඳින් පිස ගැනීම, උණු කර නිවා ගත් ජලය පමණක් දරුවාට දීම හා සුරතල් සතුන්ට ආහාර දීඑමට වෙන ම තැනක් භාවිතා කිරීම වැනි සරල උපාය මාර්ග වලින් ඔබේ දරුවාට පාචනය වැලඳීමේ අවදානම බොහෝ සේ අඩු කර ගත හැකියි.

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL),

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!