ක්‍රිකට් නායක පුතා නිසා සංජානනීය හෘද රෝග වලට අවධානය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

හත් හැවිරිදි ආර්චි ශිලර්ට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට බැඳෙන්න ලැබුණු කතාව දැන් හැමෝම වගේ දන්නවනෙ. මේ කතාව ආර්චිට එහෙම වරමක් ලැබෙන්න මූලික වෙච්ච හේතුව ගැන. ඒ කියන්නෙ මේ කතාබහ සංජානනීය නැත්නම් උපතේදී ම පවතින හදවත් රෝග ගැන.

මිනිස් හදවතක

මුලින්ම අපි කතාබහ කරමු සාමාන්‍ය මිනිස් හදවතක ක්‍රියාකාරීත්වය ගැන.
මිනිස් හදවතක කුටීර හතරක් පිහිටනවා. කර්ණිකා දෙකක් හා කෝශිකා දෙකක් ලෙසට
වම් කර්ණිකාව වම් කෝශිකාවටත් දකුණු කර්ණිකාව දකුණු කෝශිකාවටත් කපාට හරහා විවෘත වෙනවා.

ශිරා හා ධමනි

  • හදවත හා සම්බන්ධ වන ප්‍රදාන රුධිර නාල වර්ග දෙකක් වෙනවා, ඒ ශිරා හා ධමනි.
  • ශිරාවලින් හදවත වෙත රැගෙන එන රුධිරය කර්ණිකාවලට ඇතුලු වන අතර
  • කෝශිකාවල රුධිරය ධමනි හරහා ශරීරයෙන් ඉවතට පොම්ප කරනවා.

ඔබ ජීවත්ව සිටින තාක් ඔබේ හදවත නොකඩවා ක්‍රියාත්මක වෙමින් සංකෝචනය හා ඉහිල් වීම හරහා ඔබගේ ජීවය පවත්වා ගන්නවා. ඒ කොහොමද ?

ඔබ දන්නවා ඔබට ජීවත් වීමට ඔක්සිජන් අත්‍යාවශ්‍ය යි. ඔබ හුස්මක් ගන්නා හැමවිටම පෙනහලු වලට ඔක්සිජන් ඇතුල් වෙනවා. නමුත් මේ ඔක්සිජන් සිරුර පුරා බෙදා හරින්නේ කොහොමද? හදවත ඔබේ උදව්වට එන්නේ මෙන්න මේ වෙලාවට.

සම්බන්ධ ලිපි: අලුත උපන් දරුවා ලක් කලයුතු පරීක්ෂණ කිහිපයක් (click to read)

සිරුර පුරා දිවෙන ශිරා ජාලාවක් හරහා ශරීයයේ අපිරිසිදු රුධිරය එනම් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනය අධික රුධිරය අවසානයේ දකුණු කර්ණිකාව කරා ගෙන එනවා.දකුණු කෝශිකාවෙන් මේ අපිරිසුදු රුධිරය පෙනහලු කරා පොම්ප කරනවා.
පෙනහලු වලදී මෙම රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ඉවත් වන අතර ඔක්සිජන් නැවතත් රුධිරය ට එක් වෙනවා.

මේ විදිහට ඔක්සිජන් එකතු වුනු රුධිරය පෙනහලුවල සිට ශිරා හරහා වම් කර්නිකාවට ගෙන එන අතර වම් කෝශිකාව හරහා සංස්ථානික මහා ධමනිය සිරුර පුරා බෙදා හරිනවා.

  • සාමාන්‍ය හදවතක වම් හා දකුණු පස කුටීර අතර හෝ රුධිර වාහිනී අතර සෘජු සම්බන්ධයක් නැහැ.එනිසා අපිරිසිදු රුධිරය හා පිරිසිදු රුධිරය මිශ්‍ර වීමක් සිදු වෙන්නේ නැහැ.
  • හදවතේ ක්‍රියාකාරිත්වය මෙතනින් නැරඹිය හැකියි.

  • දැන් අපි බලමු මවු කුසේ සිටිනා බිලිඳෙකුගේ හදවත ගැන.බිලිඳු හදවත හරහා රුධිරය ගමන් කරනවා.නමුත් මවු කුසේ දී පෙනහලු වාතනයක් සිදු වෙන්නේ නැති බව ඔබට තේරෙනවා ඇති.ඒ වෙනුවට බිලිඳු රුධිරය පිරිසුදු කිරීම සිදු කෙරෙන්නේ පෙකණි වැල හරහායි.මෙනිසා සැම බිලිඳු හදවතකම රුධිර ගලනය සිදු වන ආකාරය වැඩිහිටි හදවතකට වඩා වෙනස්.වැඩිහිටි හදවතක නොමැති සිදුරු දෙකක් මේ හැම බිලිඳු හදවතකම තිබෙනවා.
    උපතෙන් පසු පෙනහලු වාතනය වීම ඇරඹිමෙන් පසු බොහෝ ළදරුවන් ගේ මෙම සිදුරු ඉබේම වැසී යනවා.

එතකොටසංජානනීය හදවත් රෝග කියන්නෙ මොනවද?

ළදරු හදවත වැඩෙද්දි ඇතැම් වෙලාවක හදවතේ ඉහත සිදුරු වලට අමතරව වෙනත් සිදුරු ඉතිරි වීමට පුලුවන් .මෙහිදී අපිරිසිදු රුධිරය හා පිරිසුදු රුධිරය මිශ්‍ර වීම නිසා දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමක් සිදු වෙනවා.
ඇතැම් විට මා ඉහත සඳහන් කළ ස්වාභාවික සිදුරු උපතෙන් පසු වැසී යාමක් සිදු නොවිය හැකියි.එතැනදිත් ඉහත බලපෑම එන්නට පුලුවන්

වෙනත් ලිපි: දරුවාගේ පෙකණි වැල කැපීමෙන් පසු… (click to read)

මෙම සිදුරු පවතින ස්ථානය හා ප්‍රමාණය මත ළදරුවාට ඇති වන බලපෑම තීරණය වෙනවා.

හදවතේ ප්‍රධාන රුධිර වාහිනීවල ඇති විය හැකි ගැටලු

තවත් ගැටලුවක් වෙන්න පුලුවන් වෙන්නෙ හදවතේ ප්‍රධාන රුධිර වාහිනීවල ඇති විය හැකි ගැටලුයි.

කලින් පැහැදිලි කළ ආකාරයට නොමැතිව යම් රුධිර වාහිනියක් වැරදි කුටීරයකට හෝ වෙනත් රුධිර වාහිනියකට විවර වේ නම් එහිදීත් රුධිරය මිශ්‍ර වීමක් සිදු වෙනවා.
තවත් අවස්ථාවකදී මෙම රුධිර වාහිනී ඉතා සිහින්ව නිර්මාණය වීම නිසා හදවතේ ක්‍රියාවලිය බාධා පැමිණෙනවා.

  • හදවතේ කපාට පිහිටන්නේ සැමවිටම රුධිරය හදවත හරහා එකම දිශාවකට ගැලීමට හැකිවන පරිද්දෙනුයි.තවත් සංජානනීය ආබාධයක් වන කපාට වල ඇති වන විකෘති නිසාත් ළදරුවා රෝගී විය හැකියි.
  • මීට අමතරව හදවතේ ඇතැම් කුටීර වර්ධනය නොවීම, හෝ මෙම ආබාධ කිහිපයක් එක විට පිහිටීම වැනි සංකීර්ණ සංජානනීය තත්ව ඇති විය හැකියි.
  • මේ ආකාරයේ සංජානනීය හදවත් රෝග සමහරක් මවු කුසේදීම හඳුනාගත හැකි මුත් ඇතැම් රෝග හඳුනාගත හැකි වන්නේ උපතේදී හෝ ඊට පසුවයි.
    • ළදරුවෙකුට හුස්ම ගැනීමට ඇති අපහසුව
    • ළදරුවා නිල් පැහැයක් ගැනීම (තොල්, නියපොතු)
    • සිරුර ඉදිමීම
    • වෛද්‍යවරයෙක් පරික්ශා කිරීමේදී හදවතෙන් ඇසෙන අසාමාන්‍ය හඬක්(murmur)

අලුත උපන් ළදරුවෙකු ගේ සංජානනීය හදවත් රෝගයක් සැක කළ හැකි ලක්ෂණ වෙනවා.

ප්‍රථිකාර මොනවාද?

  • ඇතැම් සංජානනීය හදවත් ගැටලු ළදරුවාට කිසිදු බලපෑමක් සිදු නොකළ හැකියි. කාලයත් සමඟ ඇතැම් හදවත් සිදුරු ඉබේම වැසී යාමටත් ඉඩක් තිබෙනවා. මෙවන් ළදරුවන් ඇතැම් විට ඖෂධ සහිතව හෝ රහිතව කලින් කලට හදවත එකෝකාඩියෝග්‍රෑම් පරික්ශා කර බැලීමෙන් පමණක් ප්‍රතිකාර කෙරෙනවා.(echocardiogram යනුවෙන් හඳුවන්නේ හදවත් සඳහ වන විශේෂිත ස්කෑන් පරික්ශා ක්‍රමයක්)
  • නමුත් තවත් සමහර ළදරුවන් සඳහා ඖෂධවලට අමතරව ශල්‍ය කර්ම සඳහා යොමු වීමට සිදු වෙනවා. කණගාටුවෙන් වුවද කිව යුතු වන්නේ ඇතැම් සංකීර්ණ සංජානනීය හදවත් රෝග සඳහා ස්ථිර ප්‍රතිකාර නොමැති බවයි.

රෝහලෙන් නික්ම යාමට පෙර පරික්ශාව

 

වෙනත් ලිපි: මවු කිරි දෙන ඔබට සුදුසු ආහාර (click to read)

පෙර කී පරිදි උපතෙන් පසු රෝහලෙන් නික්ම යාමට පෙර සෑම ළදරුවෙක් ගේම හදවත ළදරු අංශයේ වෛද්‍යවරයෙක් පරික්ශාවට ලක් කෙරෙනවා. එහිදී හදවතේ හඬෙහි යම් අසාමාන්‍යතාවක් ගැන සැක පහළ වුවහොත් අනිවාර්යයෙන් ම යම් කාලසීමාවකට පසු දරුවා නැවත echo පරික්ශාවකට රැගෙන ඒමට උපදෙස් ලබා දෙනවා.

මීට අමතරව දරුවා එන්නත්කරණයට ගෙන යන හැම විටකදීමත් පාසල් සෞඛ්‍ය වැඩසටහන් වලදීත් මෙතෙක් හඳුනා නොගත් සංජානනීය හදවත් රෝගයක ලක්ෂණ තිබේ දැයි පරික්ශා කර බැලෙනවා.

  • නිතර නිතර රෝගී වීම
  • අත් පා ඉදිමීම
  • ක්ලාන්ත ගති ඇති වීම
  • ඉතා ඉක්මණින් වෙහෙසට පත් වීම
  • වයසට සරිලන පරිදි සිරුර නොවැඩීම

වැඩිමහල් දරුවන්ගේ හදවත් රෝගයක් සැක කළ හැකි රෝග ලක්ෂණ වෙනවා.

සංජානනීය හදවත් රෝග ඇති වීමට හේතු

සංජානනීය හදවත් රෝග ඇති වීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැහැ.

නමුත්

  • පවුලේ එවන් රෝග ඉතිහාසයක් පැවතීම
  • මව දියවැඩියා රෝගයෙන් පෙලීම
  • ගර්භනී සමයේ ඇතැම් ඖෂධ භාවිතය
  • සක්‍රිය හෝ අක්‍රිය දුම්පානය
  • මත්ද්‍රව්‍ය භාවිතය
  • ගර්භනී සමයේ රුබෙල්ලා රෝගය වැලඳීම

වැනි සාධක සංජානනීය හදවත් රෝග වල අවදානම ඉහළ නංවන බව පැවසෙනවා.

සංජානනීය හදවත් රෝග අවදානම අඩු කර ගැනීමට

  • ගර්භනී සමයට පෙර රුබෙල්ලා එන්නත ලබා ගැනීම
  • දුම්පානය හා මත් ද්‍රව්‍ය වලින් වැලකීම (දුම් පානය කරන කෙනෙකු අසල රැඳී සිටීමෙන් වළකින්න)
  • දියවැඩියාව පාලනය

හරහා සංජානනීය හදවත් රෝග අවදානම අඩු කර ගැනීමට හැකියාවක් පවතිනවා.

මූලාශ්‍ර

https://www.nhlbi.nih.gov/health-topics/congenital-heart-defects

https://www.heart.org/en/health-topics/congenital-heart-defects/about-congenital-heart-defects

https://www.stanfordchildrens.org/en/topic/default?id=congenital-heart-disease-90-P02346

සුභ දවසක්

වෛද්‍ය සඳුනි පෙරේරා, MBBS

2018.12.26

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!