මඳසරු බවට ප්‍රථිකාර වලට ස්වාමි පුරුෂයාගේ සහයෝගය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මඳසරු බවින් පෙලෙන අවස්තාවක ස්වාමි පුරුෂයාත්, බිරිඳත් යන දෙදෙනාම ඒ ගැන සිත් තැවුලෙන් පසු වෙනවා. සමහර විට ඔවුන් ඒ ගැන සාමකාමීව කතා කර එයට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යාමට තීරණය කර ගෙන ඇති. එහෙත් සමහර විට සහකරුවා හෝ සහකාරිය එසේ ප්‍රතිකාර පතා යාමට අකැමැත්තක් දක්වනවා ඇති.

කවුරුන්ටවත් වරද පටවන්න එපා

මඳ සරු බවට බොහෝ හේතු තිබෙනවා. මඳ සරු බවින් 1/3 ක් කාන්තාවගේ සිරුරේ හේතු නිසාත්, 1/3 ක් පිරිමියාගේ සිරුරේ හේතු නිසාත්, 1/3 ක් ලිංගික සංසර්ගය හා සම්බන්ධ හේතු නිසාත් ඇති වෙනවා.  එනිසා ස්වාමි පුරුෂයාත්, බිරිඳත් යන දෙදෙනාම එකට ඒ ගැටළුවලට මුහුණ දිය යුතුයි.

ස්වාමි පුරුෂයන්ගේ මානසිකත්වය

සැමියා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යාමට අකැමති නම් බිරිඳ ඒ ගැන තරහ ගැනීම කිසි සේත් ම සුදුසු නැහැ. බොහෝ විට පිරිමි අය මේ ගැන උපදෙස් ගැනීමට කැමති නැහැ. මේ බව සිතේ තබා ගෙන, ඔහු එසේ අකැමති ඇයි දැයි සොයා බැලීමයි කල යුත්තේ.

ඔහුගේ සිතේ මඳ සරු බව ගැන බොහෝ අදහස් තිබෙන්නට පුළුවන්. ඒ අතර ප්‍රධානතම බිය වන්නේ, තම බිරිඳ ගැබ් නොගන්නේ ඔහුගේ අඩුපාඩුවක් නිසා බවයි. බොහෝ පිරිමි ආඩම්බරයි. තමන්ගේ සරු බව ගැන ඔවුන්ට දැඩි විශ්වාසයක් තිබෙනවා. එය බොරු බව ඔප්පු වීම ඔවුන්ගේ අභිමානයට මරු පහරක්. දරුවන් නොමැති විවාහක පවුල් සමාජයේ ඇතැම් අය ගරහනවා. ඒ තත්වයට තම පවුල වැටේ දැයි නිරන්තර බියක් ඔහුගේ සිත තුල පවතිනවා. ඒ වගේ ම ඔහුගේ එවැනි අඩුපාඩුවක් ගැන අනෙක් අය ඔහුව අඩු අගයකට දැමීමත් ඔහුගේ සිතේ ඇති ලොකු කරදරයක්.

පෙර සූදානම

වෛද්‍යවරයා ඔහුගෙන් ඇසිය හැකි ප්‍රශ්න ගැන ඔහු සිතනවා. එනිසා, ඒ ගැන ඔහුගේ බිය නැති කිරීම ඉතා වැදගත්. මඳ සරු බවක් ඇතිවීමට හේතු විය හැකි කරුණු  වලට සම්බන්ධ රෝග ලක්ෂණ ඔහු තුල තිබේදැයි විමසීමක් පමණක් සිදු වන බව ඔහුව දැනුවත් කල යුතුයි. ඔහුට අවශ්‍ය නම් ඔහු සමඟ බිරිඳත් වෛද්‍ය හමුවට යාමට අවස්ථාව සළසා දිය හැකියි. එහෙත් ඔහු බිරිඳගේ පැමිණීම ප්‍රතික්ෂේප කලොත් ඔහුගේ අදහසට ගරු කිරීමයි සුදුසු. ඔහු ගැන සැක සිතන්න එපා. සැකය විවාහ ජීවිතයට කරදරයක්.

වෛද්‍ය පරීක්ෂණ

මඳ සරු බව සම්බන්ධ ව ප්‍රතිකාර කිරීමේ දී යම් මොහොතක වෛද්‍යවරයා ඔහුගේ ලිංගේන්ද්‍රය පරීක්ෂා කරන බව ඔහුට පැවසීම මඟින් ඔහු එයට සූදානමින් සිටීමටත්, එය ප්‍රතික්ෂේප නොකිරීමටත් හේතු වෙනවා.

වෛද්‍යවරයා ඔහුට නියම කරන ප්‍රථම පරීක්ෂණය වන්නේ Sperm Full Report එකයි. ඒ සඳහා ශුක්‍රාණු සාම්පලයක් රසායනාගාරයට යැවිය යුතුයි. ඔහු මේ ගැන ද බියෙන් සිටිනවා විය හැකියි. තම ශුක්‍රාණු සාම්පලය ප්‍රමාණවත් වෙයි දැයි සැකයක් ඔහුට තිබිය හැකියි. එම පරීක්ෂණය සඳහා සාම්පලය නිවසේ දී ලබා ගැනීමට කටයුතු යොදා ගන්න පුළුවන්. එහෙත් ඒ සාම්පලය විනාඩි 45 ක් ඇතුලත රසායනාගාරයට ලැබිය යුතුයි. එතෙක් එය ශරීර උෂ්ණත්වයේ ම තබා ගත යුතුයි.

වෛද්‍යවරයා නියම කරන සියළු රුධිර පරීක්ෂණත් කිරීමට මතක තබා ගත යුතුයි. ඔහුගේ යම් ගැටළුවක් හඳුනා ගැනීමට ලැබුනත් නැතත් ඔහු සියලු පරීක්ෂණ කල පසු බිරිඳත් නිසි ලෙස පරීක්ෂණ වලට භාජනය විය යුතුයි. ඒ එකම අවස්ථාවේදී ස්වාමිපුරුෂයාගේත් බිරිඳගේත් යන දෙදෙනාගේ ම ගැටළු තිබිය හැකි නිසයි.

දරු ගැබ් ගැනීමක් ප්‍රමාද නම් වෛද්‍ය උපදෙස් නිසි ලෙස ලබා ගැනීමෙන් සහ එම උපදෙස්/ප්‍රථිකාර නිසි ලෙස පිළිපැදීමෙන් ධනාත්මක ප්‍රථිපල ලබා ගත හැකි නිසා මානසිකව ශක්තිමත්ව කටයුතු කිරීමෙන් ස්වාමිපුරුෂයාටත් බිරිඳටත් අනාගතයේ පසුතැවීම් වලින් වැළකිය හැක.

වෛද්‍ය සමීර මඩුගල්ල (MBBS) මහතාගේ ලිපියක් ඇසුරිණි

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!