පුරුෂ මඳ සරු භාවය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

යුවලක් වසරකටත් වඩා කාලයක් නිතර අනාර්කෂිතව ලිංගික සංසර්ගයේ යෙදුන ද ගර්භණී වීමට අපොහොසත් වී සිටිනවා නම් එම දෙපල වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි. මඳ සරු බවට පුරුෂ හා කාන්තා දෙපාර්ශවයේ ම හේතු තිබෙනවා. මේ සටහනෙන් අපි පුරුෂ මඳ සරු බවට හේතු, ඒවා හඳුනා ගැනීමට උපකාර වන අනතුරුදායක සංඥා, පිරිමි හා කාන්තා මඳ සරු භාවයට සමාන ව බල පාන පරිසර සාධක ගැන කෙටියෙන් සාකච්ඡා කරමු. මෙහි කියවෙන රෝග ලක්ෂණ තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හමු වන්න.

***කෙසේ වෙතත් මෙය හා මෙවැනි වෙනත් සටහන් කියවා තමන් ම රෝග විනිස්චයට පැමිණීමට උත්සාහ කිරීම නුවණට හුරු නැහැ!***

පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය මොලයේ මධ්‍යම ප්‍රජනක පාලක මධ්‍යස්ථාන, වෘශණ හා වෘශණ වලට පසුව පිහිටන ප්‍රජනක පද්ධතියේ අනෙකුත් කොටස් මත රඳා පවතිනවා. එනිසා පුරුෂ මඳ සරු බවට බල පාන සාධක, මෙසේ කොටස් තුනකට වර්ග කල හැකියි. එනම්, මධ්‍යම ප්‍රජනක පාලක මධ්‍යස්ථාන වලට බලපාන සාධක, වෘශණ වලට බලපාන සාධක හා වෘශණ වලට පසුව පිහිටන අනෙකුත් ප්‍රජනක අවයව වලට බලපාන සාධක ලෙස යි.

මධ්‍යම ප්‍රජනක පාලක මධ්‍යස්ථාන වලට බලපාන සාධක

පිළිසිඳ ගැනීමක් සිදු නොවන්නේ ඇයි? (Click to Open)

හයිපොතැලමසයේ පාලනය යටතේ පිටියුටරි ග්‍රන්ථියෙන් FSH හා LH නම් හෝමෝන දෙකක් ශ්‍රාවය වෙනවා.ඒවා වෘශණ මත ක්‍රියා කර testosterone හා අනෙකුත් පුරුෂ හෝමෝන නිපදවීමට අනු බල දෙනවා. ශුක්‍රාණු නිපදවීම සිදු වන්නේ මේ දැඩි හෝමෝනමය පාලනය යටතේ යි. Prolactin හා cortisol වැනි හෝමෝන නිසා මෙම පාලනය අඩාල විය හැකියි.

හයිපොතැලමසයේ හෝ පිටියුටරියේ ක්‍රියාකාරීත්වය අඩු වීම,prolactin ශ්‍රාවය කරන පිලිකා හා Cushing’s syndrome වැනි තත්වයන් නිසා පුරුෂ සරු භාවය අඩු විය හැකියි.

Stroke, හිස තුවාල වීම, මොලයේ රුධිර වාහිනී වල උපතින් ම පවතින අසාමාන්‍යතා හා හිස තුල රුධිර වහනය වීම් නිසා හයිපොතැලමසයට හා පිටියුටරියට හානි වී එහි ක්‍රියාකාරීත්වය අඩු විය හැකියි. එවිට හෝමෝන ශ්‍රාවය වීම අඩු වී ශුක්‍රාණු නිපදවීම අඩු වෙනවා. එක්වර ම ඇති වෙන අංශභාගය හෝ සිරුරේ එක් පැත්තකට සීමා වූ දුබලතා, එක්වරම  ඇති වූ ගොත ගැහීම, සිරුරේ සමබරතාවය නැති වීම ආඝාතයේ (Stroke) රෝග ලක්ෂණ විය හැකියි. අධික රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් අධික අය ආඝාතයට වැඩි අවදානමක සිටිනවා. මොලයේ රුධිර වාහිනී වල අසාමාන්‍යතා උපතේ සිට ම පවතින අතර මේවා බොහෝ විට සොයා ගන්නේ සුව නොවන දිගු කාලීන හිස රුදාවක් සඳහා පරීක්ෂණ කරන විටයි.

පිටියුටරි ග්‍රන්ථියේ සමහර විට Prolactin හෝමෝනය ශ්‍රාවය කරන පිලිකා ඇති විය හැකියි. ප්‍රමාණය අනුව මෙම පිලිකා වර්ග දෙකක් තිබෙනවා. විශාල පිලිකා (Macro-adenoma) මගින් මොලයේ ඒ අවට ඇති වෙනත් කොටස් තෙරපීම නිසා හිස රදය, දෘශ්ඨි හානි ඇති විය හැකියි. කුඩා පිලිකා (Micro-adenoma) හිස රදයවත් දෘශ්ඨි හානිවත් ඇති කරන්නේ නැහැ. මේ දෙවර්ගය ම නිසා ගර්භණී නොවුනත් පියයුරු වලින් කිරි ශ්‍රාවය වීම සිදු වෙනවා.

කාන්තාවන්ගේ මඳ සරු භාවය (Click to Open)

දීර්ඝ කාලීන steroid ඖෂධ පාවිච්චිය හෝ අධික cortisol හෝමෝනය ශ්‍රාවය නිසා Cushing’s syndrome ඇති විය හැකියි. මෙම තත්වයේ දී රවුම් මුහුණ, සිරුරේ කඳ කොටස මහත් වීම, අත් පා සිහින් වීම, පිටිකර ප්‍රදේශයේ තෙල් තැන්පත් වීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව හා ලිංගික බෙලහීනතාව ඇති විය හැකියි. මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහා ම ඔබේ වෛද්‍යවරයා හමු වන්න.

සමහර ඖෂධ නිසා පුරුෂ මඳ සරු භාවය ඇති විය හැකියි. අපස්මාරය, අධික රුධිර පීඩනය, මානසික රෝග පාලනය සඳහා ගන්නා ඖෂධ මේ අතර ප්‍රධානයි. මෙවැනි රෝග වල දී බෙහෙත් නතර කලහොත් ඇතිවන විපාක දරුණු  නිසා මම බෙහෙත් වෙනස් කරනු හැර කල හැකි දෙයක් නැහැ.

පුරුෂ සරු භාවයට මානසික තත්වයත් තදින් බලපානවා. පුරුෂ සරු භාවයට, ලිංගෙන්ද්‍රිය ප්‍රාණවත් වීම, ප්‍රමාණවත් පරිදි නිරෝගී ශුක්‍රාණු නිශ්පාදනය, ලිංගික සංසර්ගයෙන් පසු ශුක්‍රාණු පිට වීම හා එම ශුක්‍රාණුවලට ඩිම්බය සංසේචනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. පුරුෂ ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වීමට නම් එයට ඔබින මානසික තත්වයක්, හොඳින් ක්‍රියා කරන ස්නායු හා රුධිර සංසරණයක් අවශ්‍යයි. මානසික ආතතිය, දියවැඩියාව නිසා ස්නාහු හානි වීම, ලිංගෙන්ද්‍රියට රුධිරය ගෙන යන නාලවල අවහිරයක් තිබීම පුරුෂ ලිංගික අප්‍රාණිකත්වයට හේතු වෙනවා.

වෘශණ වලට බලපාන තත්වයන්

  • ප්‍රමාණවත් පරිදි නිරෝගී ශුක්‍රාණු නිපදවීමට හොඳින් ක්‍රියා කරන වෘශණ තිබිය යුතුයි.
  • Kleinfelter’s syndrome යනු පුරුෂ මඳ සරු භාවය ඇති කරන සුලභ ම ජාන විකෘතියයි. මෙම රෝගය ඇති අය උසින් වැඩි, කුඩා වෘශණ ඇති, කාන්තාවන්ගේ මෙන් විශාල පියයුරු ඇති පිරිමි අයයි.
  • වයස් ගත වන විට පුරුෂ ශරීරයේ testosterone අඩු වෙනවා. ලිංගික ආශාවන් හා ශුක්‍රාණු වල තත්වය වයස සමඟ අඩු වෙනවා. එහෙත් කාන්තාවන් තරම් තදින් පිරිමි අය වයස සමඟ වෙනස් වීම් වලට ලක් වන්නේ නැහැ.
  • වෘශණ වල හා අපිවෘශණ (Epididymis) වල ආසාදන නිසා එම අවයව මෙන් ම එහි ගබඩා කල ශුක්‍රාණු වලට ද හානි විය හැකියි.කම්මුල් ගාය හා enterobacteria එම ආසාදන ඇති කල හැකි ක්ෂුද්‍ර ජීවීන් දෙකක්.
  • වෘශණ වලට පසුව පිහිටන අනෙකුත් ප්‍රජනක අවයව වලට බලපාන සාධක
IVF ප්‍රතිකර්මය ගැන හඳුන්වාදීමක් (Click to Open)

ශුක්‍රාණු නිපදවීමෙන් පසු අපිවෘශණවල (epididymis) ගබඩා වී පවතිනවා. මෙම කාලයේ දී සිදු වන පරිණත වීම නිසා ශුක්‍රාණු වලට  කාන්තා ප්‍රජණක පද්ධතිය දිගේ ගමන් ගෙන ඩිම්බය සංසේචනය කිරීමේ හැකියාව ලැබෙනවා. කාන්තා ප්‍රජණක පද්ධතිය තුල දීත් ශුක්‍රාණු පරිණත වීමක් සිදු වනවා. ලිංගික සංසර්ගයෙන් පසු මෝචනයේ දී spermatic cord නම් නාලයක් දිගේ මුත්‍රා මාර්ගයට ශුක්‍රාණු පිට වෙනවා. සමහර අයගේ උපතින් ම මෙම spermatic cord නම් නාලය පිහිටන්නේ නැහැ. ඉකිලි පෙදෙසේ hernia තත්වයන් සුව කිරීමට කරන සැත්කම් වලින් මෙම නාලයට කලාතුරකින් හානි විය හැකියි. එවිට ශුක්‍රාණු පිට නොවෙන නිසා මඳ සරු බව ඇති වෙනවා. ශුක්‍රාණු සමඟ ශුක්‍ර තරලයක් පිට වෙනවා. මෙම තරලය පුරුෂ ප්‍රජණක පද්ධතියේ අතිරේක ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන දෙයක්. මෙම තරලය ශුක්‍රාණු වල දීඝායුෂ සඳහා ඉතා අවශ්‍යයි. ආසාදන නිසා මෙම ග්‍රන්ථි වලට ද හානි විය හැකියි. මෙම ආසාදන නිසා උණ හා වේදනාව ඇති විය හැකියි.

පරිසර සාධක

පරිසර සාධක කාන්තාවන්ට හා පිරිමින්ට එක හා සමානව බලපානවා. විකිරණ, බැර ලෝහ, විෂ වර්ග හා අධික උෂ්ණත්වය නිසා මඳ සරු භාවය ඇති විය හැකියි.

දුම් බීම නිසා පැලෝපීය නාල තුලින් ශුක්‍රාණු ප්‍රවාහනය අඩාල වෙනවා. එමෙන් ම ගැබ් ගෙලේ mucus වෙනස් කර ශුක්‍රාණු ගමන් ගැනීම අඩාල කරනවා. Marijuana නම් මත් ද්‍රව්‍යය පිටියුටරියෙන් FSH හා LH ශ්‍රාවය අඩු කරනවා. දීර්ඝ කාලීන ව මත් පැන් පානය කිරීම නිසා ශුක්‍රාණු ගනණ අඩු වීම, ලිංගික බෙලහීනතාවය  හා ඩිම්බ ක්‍රියාකාරීත්වය අඩු වීම සිදු වනවා.

කෙටි කලක් තුල දී අධිකව බර අඩු හෝ වැඩි වීම නිසා හෝමෝන පාලනය වියවුල් වී මඳ සරු බව ඇති විය හැකියි.

මේ සටහනෙන් ඔබට දල අදහසක් ලබා ගන්නට පුලුවන්. ඔබ ඔබේ වෛද්‍යවරයා හමු වූ විට ඔහු ඔබගෙන් ගැඹුරෙන් කරුණු විමසනු ඇති. කිසි දෙයක් සඟවන්න එපා. විවෘත ව කරුණු ඉදිරිපත් කරන්න.

……..

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL),

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!