IUI ප්‍රතිකර්මය පියවරින් පියවර

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මඳ සරු බව රෝගයක් නොවන බවත් එයට ඉතා පහසුවෙන් ප්‍රතිකර්ම සිදුකල හැකි බවත් අපි මෙයට පෙර සාකච්චා කළා ඔබට මතක ඇති. ඒ අතර වඩා ප්‍රසිද්ධ ප්‍රතිකර්මයක් වන IUI ප්‍රතිකර්මය සිදුවන ආකාරය පිළිබඳව අපි පියවරෙන් පියවර ඔබට විස්තර කළා. අද අපි ඒ ගැන වැඩි දුරට කරුණු ගෙන එනවා.

IUI ප්‍රතිකර්මය යනු:

මෙම ප්‍රතිකර්මයේදී සිදු කරන්නේ සැමියාගෙන් ලබා ගත සචල ශුක්‍රාණු බිරිඳගේ ගැබ් ගෙල හරහා ගර්භාෂය තුල තැන්පත් කිරීමෙනි. මෙහි ඇති වාසිදායක තත්වය වන්නේ පුරුෂයාගේ සචල ශුක්‍රාණු වලින් හොඳම ශුක්‍රාණු වෙන්කරගෙන තැන්පත් කිරීමේ හැකියාව ලැබීමයි. එවිට ගැබ් ගැනීමක් සිදුවීමේ හැකියාව ඉහල යයි. (මන්දයත් ඩිම්බයක් සමග මුසු වීමට හැකියාව ලබන්නේ දහසකුත් ශුක්‍රාණු අතරින් වඩාත්ම සුදුසු ශුක්‍රාණු 1ක් පමණක් නිසාය.) මෙම ප්‍රතිකාරයට යොමු වීම සඳහා අදාළ කාන්තාවගේ පැලෝපීය නාල වල අවහිරතාවයක් නොතිබිය යුතුය.

මෙම ප්‍රතිකාරයේ ප්‍රධාන අදියර:

  • ඩිම්බ උත්තේජනය කිරීම
  • ඩිම්බ පරිනත වීම
  • ඩිම්බ පරිනත වී, ඩිම්බ මෝචනය වී ඇතිදැයි නිරීක්ෂණය (ස්කෑන් පරීක්ෂාවක්)
  • IUI ප්‍රතිකර්මය මගින් ශුක්‍රාණු තැන්පත් කිරීම

ඩිම්බ උත්තේජනය කිරීම

මෙය සිදුකරන්නේ ඖෂධ වර්ගයක් භාවිතා කිරීමෙනි. කාන්තාවගේ මාසික ඔසප් දිනට පසු දින සිට දින 5ක් මෙම ඖෂධ පෙති ලබාදීම සිදු කරයි. මෙමගින් ඩිම්බ උත්තේජනය කරන අතර FSH හෝමෝන ශ්‍රාවය වැඩි කරනු ඇත. ඉන්පසු ඩිම්බ පරිනත වීම සිදුවේ.

ඩිම්බ පරිණත වීම නිරීක්ෂණය

ඉහත පරිදි ඔසප් වීමේ මුල් දිනයේ සිට ගණනය කරන දින 11 හෝ 12 වන විට ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් ඩිම්බ නිසි ලෙස පරිණත වී ඇතිදැයි දැන ගත හැකිය. ඩිම්බ පරිනත වීම සාර්ථක නම් ඩිම්බ කෝෂයේ මිලිමීටර 18 – 20 අතර විෂ්කම්භය නිරීක්ෂණය කල හැක. එය තුල ඩිම්බය පිහිටා ඇති අතර ඩිම්බයේ ප්‍රමාණය ඇසට නොපෙනෙන මයික්‍රෝන 100 – 120 පමණ වේ. ඉහත ව්‍යුහය ප්‍රමාණය මිලිමීටර 18ට අඩු නම් ඖෂධ පෙති වැඩි කල යුතු අතර මිලිමීටර 25ට වැඩි නම් බෙහෙත් පෙති භාවිතය අඩු කිරීමට උපදෙස් දෙනු ඇත.

ඩිම්බ මෝචනය සහ නිරීක්ෂණය

ඉහත අයුරින් ගණනය කරන ලද 12 වන දිනය වන විට පරිණත ඩිම්බයක් ඇති බවට ස්කෑන් පරීක්ෂාව මගින් තහවුරු කර ගැනීමෙන් පසු HCG එන්නත ලබා දෙනු ඇත. ඉන් පැය 36කට පමණ පසුව ඩිම්බය මෝචනය වී පැලෝපීය නාලය වෙත පැමිණේ. 12 වන දිනයේ දෙනලද HCG හෝමෝන එන්නතෙන් පසු ඩිම්බය නිසි ලෙස මෝචනය වී ඇති බව 14 වන දිනය වන විට ස්කෑන් පරීක්ෂාවක් මගින් දැන ගත හැක.

IUI ප්‍රතිකර්මය සිදු කිරීම

ඩිම්බය මෝචනය වූ පසුව ස්වාමි පුරුෂයාගෙන් ශුක්‍රාණු සාම්පලයක් ලබාගත යුතුය. ඒ සඳහා සුදානමක් වශයෙන් දින 3ක් හෝ 4ක් පමණ සැමියා තම ශුක්‍රාණු මොචනයෙන් වැලකී සිටිය යුතුය. මෙසේ ලබා ගත ශුක්‍රානු සාම්පලයේ ඇති සචල ශුක්‍රාණු වෙන්කර ලබා ගනු ලැබේ. එසේ වෙන්කරගත් ශුක්‍රාණු කැතීටරයක් භාවිතා කර කාන්තාවගේ ගැබ් ගෙල හරහා ගර්භාෂය වෙත ගෙන ගොස් තැන්පත් කරනු ඇත. ඉන්පසු බිරිඳ විනාඩි 30ක්වත් නිශ්චලව සිටිය යුතු වේ. මෙම ක්‍රමය ඉතා පහසු එමෙන්ම සාර්ථක එකකි. IUI ප්‍රතිකර්මය 3 – 4 වරක් කල හැක. එසේ ගැබ් නොගතහොත් මෙයට වඩා සංකීර්ණ ප්‍රතිකර්ම වලට යොමු විය හැකිය.

……………….

ලංකා හොස්පිටල්ස් ආයතනයේ වීශේෂඥ වෛද්‍ය මදාර රැළපණාව මහතා සමග කල සාකච්චාවක් ඇසුරිනි.

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!