අළුත උපන් බබා බලන්න යමුද?

ඔබේ නෑදෑ කෙනෙක් හෝ මිතුරියක් දරුවෙක් බිහි කරාම ඔබටත් ඒ ගැන සතුටක් දැනෙනවා ඇති. ඉතින් අප හිතනවා ඉක්මනටම එයාලගේ බබා බලන්න යන එක අපේ යුතුකමක් කියල.

ඒ උනාට අපි ටිකක් හොයල බලමු එහෙම යන එක හොඳද ඒ වගේම බබෙක් බලන්න ගියාම ඔබ අතින් නොදැනුවත්ව සිදුවන වැරදි මොනවාද කියලා…

බබා ලැබුන වහාම යන්න ඕනද?

ඇත්තෙන්ම දරු උපතක් සිදු කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නොවෙයි. එහි ඇති වේදනාව සහ මහන්සිය ගැන දන්නේ අම්ම කෙනෙක්ම පමණයි. ඉතින් මේ වගේ වෙහෙසකර සහ වේදනාකාරී අත්දැකීමකට මුහුණ පෑ කෙනෙක් ජීවිතයට අළුතින් එකතු උන සින්ගිත්තාගේ අවශ්‍යතා පිරිමසමින් සිටින විට ඇති වන මානසික ආතතිය ඉතා අධිකයි. ඒ සමගම නිසි නින්දක් ලබන්නත් වෙන්නේ නෑ මවුතුමියට. මේ කරුණු ටිකම ඇති නේද ඔබ දරුවෙක් ඉපදුන වහා එම මවට තවත් කරදරයක් වෙන ලෙස ඔවුන් බැලීමට නොයා සිටීමට?

ඉක්මනට කථා කරලා එනවා

කෙනෙක් හිතනවා ඇති, “ආහ් අම්මයි බබයි කාමරේ ඉද්දි අපි ගිහිල්ලා ඉක්මනට බබා බලලා සාලේ ඉඳන් තාත්තා එක්ක කථා කරලා එනවා” කියලා. අම්මාට තරම්ම වෙහස මහන්සිය හෝ වේදනාව නොදැනුනත් තාත්තා උනත් ඉන්නේ යම් කිසි මානසික පීඩනයකින්. දරු උපතත් සමග නිවසේ ඇතිවන වෙනස්කම් මනා ලෙස සම්බන්ධීකරණය, අවශ්‍ය කළමණා ගෙන එන්න එහා මෙහා යාම, දරුවා උපන්නේ රෝහලකනම් මව සහ දරුවා රෝහලෙන් ගෙදර ගෙන යාම සූදානම් කිරීම, දරුවාට නමක් තැබීම, උප්පැන්න සහතිකය හැදීමට යාම, මේ වගේ දීර්ඝ වැඩ ලැයිස්තුවක්ම තියෙනවා තාත්තට කරන්නත්.

ඒ නිසා අලුතෙන් දරුවෙක් ලැබිලා මාස 3ක් විතර ගියාට පස්සේ ඔවුන්ව බලන්න ගියානම් තමයි හොඳ.

අම්මාට මල් පොකුරක් යවමුද?

මේ වනවිට වෛද්‍යවරුන් සොයාගෙන ඇති අන්දමට මල් වල රේණු නිසා ඇතිවන අසාත්මිකතා දරුවෙක් බිහිකළ මවකට, අලුත උපන් දරුවෙක්ට පමණක් නොවේ වෙනත් ඕනෑම රෝගියකුට කරදරයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, මල් පොකුරු, පළතුරු කූඩ ආදියේ ඇතුලේ විවිධ ක්ෂුද්‍ර ජීවීන් සහ කෘමි සතුන් උනත් එන්න පුළුවන්. රෝහල් වල මේ වනවිට පැහැදිළිවම දැන්වීම පෙන්වලා තිබෙනවා මල් පොකුරු ගෙන එමෙන් වළකින ලෙස. ඉතින් ඔබට පුළුවන් අත්‍යවශ්‍ය නම් ලස්සන කාඩ්පතක් සමග මවටත් දරුවාටත් යමක් මිලදී ගැනීමට උපකාරී වන Gift Voucher එකක් යවන්න. ඒ වගේ සේවාවල් සපයන ආයතන මේ වන විට අන්තර්ජාලයේ බහුලයි.

අලුත් අම්මා කෙනෙක් නේ, අපි දෙමු නේද උපදෙස් ටිකක්?

අපේ රටේ පැවතුනේ බොහොම ළඟින් බැඳුනු සමාජ සංස්කෘතියක්. ඉතින් බොහෝ දෙනෙක් සිතනවා අනිත් අයට උපදෙස් දීම තමාගේ කාර්යභාරයක් කියලා. ඉතින් සමහර වෙලාවට බබා බලන්න එන අය ඕනෑවටත් වඩා බලෙන්ම උපදෙස් දෙන්න පටන් ගන්නවා. බොහෝ වෙලාවට අලුතින් දරුවෙක් උපදින විට එම දරුවාගේ අත්තම්මාත් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා අත්‍යවශ්‍යම උනොත් බබාගේ අම්මා එයාගේ අම්මාගෙන් අහගන්න දෙයක් අහගනීවී. ඒ හැරුණම දරුවාගේ සෞඛ්‍ය සහ පෝෂණය සම්බන්ධව නම් දරුවාගේ අම්මා කල යුත්තේ ඒ ගැන විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය වෘත්තිකයෙක්ගෙන් අපැහැදිළි දෙයක් අසා දැන ගැනීම. මේ වනවිට කිසිදු සුදුසුකමක් නැති අය විසින් පවත්වාගෙන යන facebook group/pages වලින් මිත්‍යා මත බහුලව පතුරුවනවා. ඒ නිසා තමන්ගේ දරුවාගේ ජීවිතය අවදානමකට ලක් කරන්නේ නැතිව සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධ දෙයක් අදාළ වෘත්තිකයන්ගෙන් අසා දැනගන්න facebook ගොඩ වෙදුන් ළඟට යන්නේ නැතිව.

ඉතින් බබා බලන්න යන කෙනෙක් අම්මාට අම්මා කෙනෙක් වෙන හැටි වත් සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධ උපදෙස් වත් බලෙන් දෙන්න ඕන නෑ.

දරුවා අම්මා වගේද? තාත්තා වගේද?

බබාලා බලන්න (ඉපදුන ගමන් හෝ මාස 3කින් හෝ) යන අයගේ ප්‍රියතම ක්‍රීඩාව තමයි දරුවා අම්මා වගේද තාත්තා වගේද සොයා බැලීම. කෙටියෙන් කියනවා නම් එය “ඔබට අදාළ නැත”. මෙහිදී ඔබ මතකයේ තබා ගත යුතුයි ඔබේ එවන් අනුමාන දරුවාගේ තාත්තාගේ හෝ අම්මාගේ සිතෙහි යම් තැවුලක් ඇති කරන දෙයක් බව. ඒ වගේම දරුවා සුදුද කළුද තලෙළුද යන්න සොයා බලන්නත් ගොඩක් අය උනන්දුයි. දරුවාගේ සමෙහි පාට කෙසේ උනත් දරුවාගේ දෙමවුපියන්ට තමන්ගේ දරුවා සම්පතක්. ඒ වගේම කෙනෙක්ගේ ජීවිතය සාර්ථක හෝ අසාර්ථක වෙන්න හමේ පාට බලපාන්නේ නැහැ. ඒ නිසා ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන්නේ දරුවාගේ දෙමවුපියන්ගේ සිත රිදවීමක්. ඒ නිසා කරුණාකර දරුවාගේ රූප ස්වභාවය ගැන විශ්ලේෂණ ඉදිරිපත් කරන්නේ නැතිව තමන් දරුවා බලන්න ආවේ අවංක පරමාර්ථයෙන් නම් දරුවාගේ අනාගතයට සුභ පතා, දෙමවුපියන් සමග සුහදව කතා කර ඔවුන්ට සමු දෙන්න.

විශේෂ අවස්ථා

ඇතැම් දරුවන් ලොවට බිහිවන විට යම් යම් අසනීප හෝ සංකූලතා පවතිනවා. එය පාරිසරික, ජානමය හෝ වෙනත් හේතු මත සිදුවන්නක්. ඒ වගේම ඒ දෙය සිදු වී අවසානයි. බොහෝ විට දරුවාගේ දෙමවුපියන් සිටින්නේ ඒ සම්බන්ධව මානසිකව වැටීමකට ලක් වෙලා. ඒ නිසා දරුවා බලන්න එන ඔබ ප්‍රවේසම් වෙන්න ඕන ඔවුන් සමග කථා කරන ආකාරය සහ හැසිරෙන ආකාරය ගැන. මේ ගැන වැඩි විස්තර අපි තවත් ලිපියකින් ගෙන එන්නම්.

ඉතින් මේ කරුණු වලට සිත යොමු කරලා අළුතෙන් දරුවෙක් බිහිකළ දෙමවුපියන්ට සහනයක් මිස කරදරයක් නොවී දරුවාටත් දෙමවුපියන්ටත් සුභ පතා නික්ම එන්න ඔබ සිතා ගනී කියා සිතනවා.

මේ ගැන තවත් ලියවෙන්න ඕන කරුණු පහත link එකෙන් අපට එවන්න:

mathru.lk

mathru.lk