සිසේරියන් ශල්‍යකර්මය ගැන ඔබ දැනගත යුතු දේ

දරු උපතකදී ශල්‍යකර්ම භාවිතා කිරීම අද වන විට සාමාන්‍ය එදිනෙදා තත්වයක් බවට පත්වී හමාරයි. නමුත් ප්‍රසව වෛද්‍යවරුන් බොහෝ විට නිර්දේශ කරන්නේ සාමාන්‍ය දරු උපතක් සිදු කිරීමයි.

ඔබ ඔබගේ දරුවා උපදින විටදී මෙම කිනම් ක්‍රමයක් භාවිතා කිරීමට යන්නේද යන්න තීරණය කිරීමට මෙම ලිපිය උපකාරී වනවා නොඅනුමානයි.

ශල්‍යකර්මයක් අත්‍යාවශ්‍යද?

බොහෝ විට ශල්‍යකර්මයක් සඳහා යොමුවන්නේ බඩෙහි සිටින දරුවාගේ පිහිටීමේ සිදුවන අසාමාන්‍යතාවයන් (හිස ඉහලින් හා පදයන් පහලින් පිහිටීම). නැතිනම් මවගේ ඇතිවන විවිධ සන්කුලතාවන්ය. ශ්‍රෝණි පෙදෙසේ ඇති තුවාල, ශ්‍රෝණියේ ඇතිවීය හැකි ශ්‍රෝණි කුහරය වැසීයාමේ අසාමාන්‍යතා, ඇතැම් විට දරුවාගේ ඇති වී ඇති අසාමාන්‍යතා හා මවගේ විවිද රෝගි තත්වයන් නිසා උපතේදී ඇතිවන වේදනාවන්, දරුවාගේ හිස ශ්‍රෝණි කුහරයට වඩා අධික ලෙස විශාල වීම, යනාදිය මෙම ශල්‍යකර්මයට යොමු වීමට හේතු සාදකයන්වේ.

මෙම ශල්‍යකර්මයට යොමු වීම සම්බන්ධයෙන් විවිධ මත පවතින නමුත් මෙය ලංකාවේ ඉතා සුලභව භාවිතා වෙයි. සෑම දෙනාම කරනා නිසා මෙම ශල්‍යකර්මයට නොගොස් ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට නිවැරිදි තීරණයකට පැමිනෙන්න. ඔබගේ තත්වය ඉහත දක්වා ඇති තත්වයක් නොවන්නටත් පුළුවන්.

උපත් ශල්‍යකර්මයකදී සැබවින්ම සිදුවන්නේ කුමක්ද?

පළමුව සිදුවනුයේ පිට කොන්දට ලබා දෙන එන්නතක් මගින් නිර්වින්දක ලබා දීමයි. එම ඖෂධය ලබා දී විනාඩි කිහිපයක් යනවිට කකුල් වල බර ගතියක් දැනේ. ඉන්පසු වේදනා දැනීම සම්පූර්ණයෙන් නැතිව යයි. (ඇතැම්විට සම මත ස්පර්ශය දැනීමට හැකි වේවි, නමුත් වේදනාවන් දැනේන්නේ නැත.) පිට කොන්ද අවට ප්‍රදේශයද නිර්වින්දනය කරන එන්නත් ලබා දෙයි. මෙවිට ඔබට ඔබගේ උරස් කූඩුවෙන් පහල කිසිදු ඉන්ද්‍රියක දැනීමක් ඔබට නොදැනේ. ඔබ නිර්වින්දනය කොට ශල්‍යාගාර මේසය මත තැබූ පසු මුත්‍රාශයට කැතීටර බටයක් යවනු ලැබයි, මෙය ශල්‍යකර්මයෙන් පසුව ඊළඟ පැය 12 ගත වන තෙක්ම පවත්වාගෙන යයි. ඊළඟ පියවරදී වෛද්‍යවරයා ඔබගේ බඩ ප්‍රදේශය betadine විෂබීජ නාශකය හා ශල්‍යාගාර ස්ප්‍රිතු මගින් පිරිසිදු කිරීම සිදු කරයි. පසුව ශල්‍යකර්මයට අයත් පෙදෙස පමණක් නිරාවරණය වන ලෙස ශරීරයේ අනෙකුත් පෙදෙස් ආවරණය කරයි. මෙහිදී ඔබට ඔබගේ බඩ ප්‍රදේශය නොපෙනෙන්නට කුඩා තිරයක් දමනු ලැබේ. මෙම ශල්‍යකර්මයට සමාන්‍යයෙන් ගත වන්නේ විනාඩි 10 පමණි. ඔබට ඔබගේ බඩ ප්‍රදේශය විවෘත කරනවා සුළු ලෙස දැනේ. මෙහිදී කැපීම සිදුකරනුයේ යටි බඩ පහළ ප්‍රදේශයෙනි. වෛද්‍ය වරයා ගර්භාෂය තෙක් ළඟා වූ පසු එහි කුඩා කැපීමක් සිදු කොට ගර්භාෂයේ ඇති තරලය සෙමින් ඉවත් කරනු ලබයි. පසුව කැපුම ටිකෙන් ටික වැඩි කර දරුවා ඉවතට ගනියි. ඉහත සඳහන් කරන ලද දරුවාගේ විවිධ අසාමාන්‍ය පිහිටීම් වුවහොත් එය සදහා සුදුසු ප්‍රතිකර්මයක් වෛද්‍ය වරුන් අනුගමනය කරනු ඇත. අවසානයේ ඔබට දරුවාව හොඳින් දැක බලා ගැනීමේ අවස්ථාව වෛද්‍ය වරයා ඔබට ලබා දෙනු ඇත. පසුව දරුවාව ළමා රෝග විශේෂඥ වරයකුගේ පරීක්ෂණයකට ලක් කරයි. නැවතත් ඔබව මැහුම් දැමීමට ගතවන කාලය, කැපීමට වඩා වැඩිය. සියල්ල අවසන් වූ පසු ඔබව ශල්‍යාගාරයේ සිට සුවතාකාමරය වෙත ගෙන යනු ලබයි. (මෙම ශල්‍ය කර්මය සිදු කරන අයුරු වීඩියෝවක් මෙම ලිපිය අවසානයේ දැක්වේ.)

උපත් ශල්‍යකර්ම වල අවදානම?

වර්තමානයේ මෙම ශල්‍යකර්මය ඉතා ආරක්ෂිත ලෙස සිදුවෙයි. නමුත් ඉතා කලාතුරකින් නිර්වින්දක බෙහෙත් සදහා මවගේ ශරීරය අයහපත් ප්‍රතික්‍රියා දක්වන්නට පුළුවන්. ඇතැම් විට ආසන්න අනෙකුත් අවයව හානියට පත් වන්නටද පුළුවන්. එමෙන්ම ගර්භාශයේ සිදු වන පසු සන්කෝචන නිසා ලේ ගැලීම්, කකුලේ හා පෙනහළු වල ලේ කැටිති ඇති වීමද සිදු විය හැක. එමෙන්ම කැපුම් තුවාලය ආසාදනය වීමද ඇති විය හැකි සුලබ සිද්ධින්ය.

ඔබ කල යුත්තේ කුමක්ද?

ඔබගේ ප්‍රසව වෛද්‍යවරයා සමග උපත් ක්‍රමය පිලිබදව දැන්ම සාකච්චා කරන්න. කිසිවක් සඟවන්න එපා. ඉතා කුඩා සුළු තොරතුරක් වුවද අවසානයේ ඔබගේ තීරණය සම්පුර්ණයෙන් වෙනස් කරලීමට බලපාන්නට පුළුවන් .ඔබගේ වෛද්‍යමය ගැටළු වෛද්‍ය තුමන්/තුමිය ගේ උපදෙස් මත විසඳා ගන්න. ඔබට නිර්දේශ කර ඇති ව්‍යායාම හා බෙහෙත් නිසි පරිදි ලබාගන්න.

විශේෂ පසු වදනක්:

  • සිසේරියන් සැත්කම යනු වේදනාව වැළැක්වීමේ ක්‍රමවේදයක් නොව වෛද්‍යමය හේතු මත සිදු කරන සැත්කමකි
  • දරුවා බිහි කිරීමට වඩාත්ම සුදුසු ක්‍රමය සාමාන්‍ය ක්‍රමයට සිදුකරන දරු උපතක්ද නැති නම් සිසේරියන් සැත්කමද යන්න ඔබගේ වෛද්‍යතුමන්/වෛද්‍යතුමිය සමග කල් ඇතිව සාකච්ඡා කරන්න
  • වෛද්‍යතුමන්/වෛද්‍යතුමිය නිර්දේශ කරන පිළිවෙල ගැන ඔබට අවශ්‍ය පැහැදිළි කර ගැනීම් කර ගන්න
  • සාමාන්‍ය ආකාරයට දරුවන් බිහිකිරීමේදී ඇතිවන වේදනාව අඩු කරන එන්නත් භාවිතා කිරීමේ හැකියාව ගැන ඔබේ වෛද්‍යතුමන්/වෛද්‍යතුමිය ගෙන් විමසන්න. (ඒ ගැන ලියැවුන “එපිඩියුරල් ක්‍රමය” සම්බන්ධ ලිපියත් කියවා බලන්න අමතක කරන්න එපා)
  • සිසේරියන් සැත්කම කිරීමට වෛද්‍යවරයා විසින් උපදෙස් නොදුන්නොත් එය කරවන ලෙස වෛද්‍යවරුන්ට බල කිරීම සුදුසු දෙයක් නොවේ
  •  සිසේරියන් සැත්කම හා සම්බන්ධ සංකුලතාවයන්ද පවතී. දැනට වාර්තා වී ඇති මාතෘ මරණ අතුරින් සිසේරියන් සැත්කම ආශ්‍රිත මරණද වාර්තා වේ.
දරුවකු බිහිකිරීමේදී වේදනා අඩු කරන එපිඩියුරල් ක්‍රමය

ඔබට අවශ්‍ය නම් පළමු සිසේරියන් දරු උපතකින් පසු දෙවන දරු උපතේදී සාමාන්‍ය දරු උපතකට යොමු වීමේ හැකියාව පවතින මුත් එකදිගටසිදු කරන ලද සිසේරියන් සැත්කම් 2කින් පසුව තෙවන දරු උපත සදහා සාමාන්‍ය දරු උපතකට යොමු වීම අවධානම් සහගත වේ. මෙනිසා පුළුවන් සෑම විටකම පළමුදරු උපතේදී සිසේරියන් ක්‍රමයෙන් බැහැරව දරු උපතට යොමු වීම වඩාත් යෝග්‍ය වේ.

 

 

 

Reviewed by: Dr. (Mrs) Kaushalya Mendis, MBBS, DCH

……………………………………………………………………………………………………………………………………………………

20155 times

mathru.lk

mathru.lk